ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය සහ කොළඹ නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය එක්ව පළමු වරට සංවිධාන කරන අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය හෙට (10) සිට 14 දක්වා පැවැත්වේ.
කණ්ඩායම් 15කින් ක්‍රීඩකයන් 345ක් එක්වන තරගාවලිය ක්‍රීඩාංගණ 3කදී පැවැත්වීමට නියමිත අතර සමාරම්භක උළෙල දියගම පිහිටි ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. සෙසු තරග කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ සහ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මේ තරගාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික ඔලිම්පික් කමිටුව මෙන්ම හොරෙයිසන් විශ්වවිද්‍යාලයද දායකත්වය සපයයි.
මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා කොළඹ නාලන්දා විද්‍යාලයේ භාෂා කේන්ද්‍රයේදී පැවැත්විණි.
මේ අවස්ථාවට එක් වූ ජාතික බේස් බෝල් කමිටුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ඒකනායක මහතා පැවසුවේ වසර 1980 දී මෙරටට හඳුන්වාදුන් බේස්බෝල් ක්‍රීඩාව මේ වනවිට පාසල් 22ක් පමණ ප්‍රචලිත වී ඇති බවත්, මේ ක්‍රීඩාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා මෙවැනි තරගාවලිය සංවිධාන කිරීම මගින් බලාපොරොත්තු වන බවත්ය.
ක්‍රීඩාව තුළින් සෞඛ්‍යමත් දරු පරපුරක් බිහි කිරීම බලාපොරොත්තුව බවත්, අද වන විට සියළුම පාසල් දරුවන්ට ක්‍රීඩාව අනිවාර්ය කර ඇති බැවින් පාසල්වල බේස්බෝල් ක්‍රීඩාව ජනප්‍රිය කර ගැනීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා බවද මේ අවස්ථාවට එක් වූ පාසල් බේස්බොල් සංගමයේ සභාපති කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ අබේරත්න මහතා කීය.
කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා පැවසුවේ බේස්බෝල් ක්‍රීඩාව අනෙකුත් පාසල්වලද ව්‍යාප්ත කිරීම සඳහා තම පාසල සහ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරන හොඳ ක්‍රීඩකයන් පිරිසක් අනාගතයේදී පාසල් වලින් බිහි කිරීමේ අරමුණින් නාලන්දා විද්‍යාලය සහ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය එක්ව මේ තරගාවලිය සංවිධාන කළ බවත් ප්‍රධාන ක්‍රීඩාවන් කෙරෙහි යොමු වන අතරම මේ ක්‍රීඩාව සම්බන්ධයෙනුත් පාසල් සිසුන්ගේ අවධානය යොමු කරවීම මූලික අරමුණ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
0 Comments