Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු සත් සාමාජික රග්බි කොරියානු තරගාවලිය අද සහ හෙට

Author(s): 
ෆවුස් මොහොමඩ්

ලබන වසරේ එච්.එස්.බී.සී. සත් සාමාජික ලෝක ශූරතාවලියට සමගාමීව හොංකොං නුවර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ආසියාවෙන් එක්වන දෙරට තෝරාගන්නා ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියර වන දකුණු කොරියානු තරගාවලිය අද (29) සහ හෙට (30) දකුණු කොරියාවේ ඉන්චේන් නුවර නැම්ඩොම් ඒෂියාඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙවර ආසියානු සත් සාමාජික රග්බි සමස්ත තරගමාලාවේ පළමු දෙරට එච්.එස්.බී.සී. ලෝක ශූරතාවලියේ සුදුසුකම් ලබන තරගාවලියට එක්වන අතර ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන පසුවෙයි.

ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර ලෙස පසුගියදා හොංකොං නුවර පැවැති පළමු අදියරේ තරගාවලියේ දී පිලිපීනය පරදවමිනි.

සමස්ත ලකුණු සටහනේ ලකුණු 12ක් ලබා ජපානය පළමු තැන පසුවන අතර ලකුණු10ක් ලැබූ හොංකොං පිල දෙවැනි තැන අත්කරගෙන සිටී. ශ්‍රී ලංකාවට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8 කි. පිලිපීනය ලකුණු 7ක් ලබා සිටින අතර චීනය ලකුණු 5ක් ද, චීන තායිපේ පිල ලකුණු4ක් ද ලබා සිටී.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග වදින අතර සත්කාරක දකුණු කොරියාව, හොංකොං සහ චීන තායිපේ එම කාණ්ඩයට ඇතුළත්ය. ජපානය, පිලිපීනය, චීනය සහ මැලේසියාව මෙවර තරගාවලියේ දී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදී.

කොරියානු තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.12ට චීන තායිපේ පිල සමග පැවැත්වෙන අතර දෙවැනි තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.32ට හොංකොං පිල සමග පැවැත්වෙයි. හෙට පෙරවරු 9.04ට දකුණු කොරියාව සමග ශ්‍රී ලංකාව මූලික වටයේ අවසන් තරගයට එක්වනු ඇත.

සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන් තරගබිමට පිවිසෙන ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ නවසීලන්ත ජාතික පීටර් වුඩ් විසිනි.

කොරියානු තරග බිමේ පිරිමි තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා තරගාවලියට සංජු විජේතිලකගේ නායකත්වයෙන් එක්වී සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.44ට හොංකොං පිල සමග පැවැත්වෙයි. දෙවැනි තරගය මධ්‍යහ්න 12.04ට සත්කාරක කොරියාව සමග පැවැත්වෙන අතර හෙට පෙරවරු 7.14ට ජපානය සමග මූලික වටයේ අවසන් තරගයට එක්වෙයි.

සංදීපා හේමකුමාරිගේ නායකත්වයෙන් හොංකොං තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහිදී පස්වැනි ස්ථානය අත්කර ගත්හ. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සංජු විජේතිලකගේ නායකත්වයෙන් තරග වදින්නේ හේමකුමාරි හොංකොං තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙනි. එහිදී හිටපු නායිකා රන්දිකා කුමුදුමාලි ද ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලියට එක් නොවූහ.

ජාතික යොවුන් රග්බි පිලේ හිටපු පුහුණුකරු සුදත් සම්පත් කාන්තා රග්බි පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා රග්බි පිල

සුදර්ශන මුතුතන්ත්‍රී (නායක) , ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නවීන් හේනකංකානම්ගේ, ශෙහාන් ඩයස්, නිෂොන් පෙරේරා, දනූෂ දයාන්, කෙවින් ඩික්සන්, රීසා රෆායිඩීන්, දිනුක් අමරසිංහ, අදීෂ වීරතුංග, බුද්ධිම පියරත්න, සුදම් සූරියආරච්චි.

ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල

සංජු විජේතිලක (නායිකා), අනූෂා අත්තනායක, වාසනා ලියනාරච්චි, තනූජා වීරක්කොඩි, තීක්ෂණා ලියනගේ, නදීකා මුණසිංහ, දුලානි පල්ලිකොන්දගේ, දසුනි ද සිල්වා, අයේෂා පෙරේරා, අයේෂා කළුආරච්චි, නිමේෂා විජේවර්ධන, ජීවන්ති මදුරුසිංහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();