Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුසන්තිකා ක්‍රීඩා ව්‍යාපෘති උපදේශිකා තනතුරට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ඔලිම්පික් පදක්කම් හා ලෝක ශූරතා පදක්කම් දිනූ කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති උපදේශිකාව ලෙස ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා ඉදිරියේ ඊයේ වැඩ භාර ගත්තාය.

කැබිනට් පත්‍රිකාවක් මගින් සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති උපදේශිකාව ලෙස පත්වීම් ලැබූ අතර, ඇයට මෝටර් රථයක්, කාර්යාලයක් හා තනතුරට අදාළ සියලු පහසුකම් ලබාදී ඇති බව ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය. ඇය ජාතික සම්පතක් බැවින් ඉදිරියේදී තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇය විශ්‍රාම ගන්නාතුරු ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධකර ගන්නා බව සඳහන් විය.

“ඔලිම්පික් ශූර සුසන්තිකාගෙන් අපේ ක්‍රීඩාවේ දියුණුවට ප්‍රයෝජන ගත්තා මදි. කටුක දිවියක් ගෙවා ලෝක මට්ටමේ ජයග්‍රහණ අත්කරගත් ඇය නැගී එන ක්‍රීඩක පරපුරට විශාල ආදර්ශයක්. ක්‍රීඩාවට තරුණ තරුණියන් වැඩි වශයෙන් ආකර්ශනය කරගැනීමට ඇයට හැකියාව තිබෙනවා. රට වටා ගොස් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීමේ කාර්ය ඇයට භාරකොට තිබෙනවා. සුසන්තිකා පසුගිය කාලයේ විශාල අභියෝගවලට මුහුණ දුන් කෙනෙක්. ඇයට නිසි ගෞරවයදී ඇගේ සේවය රට වෙනුවෙන් ලබා ගැනීමට කටයුතු කොට තිබෙනවා” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

මේ තනතුර ලබාදීමට කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට ස්තූතිවන්ත වන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති උපදේශිකා සුසන්තිකා ජයසිහ මහත්මිය පැවැසූවාය.

“රට වෙනුවෙන් ජයග්‍රහණ අත්කර දුන් මට මෙවැනි තනතුරකින් විශාල දෙයක් අනාගත පරපුර වෙනුවෙන් කළ හැකියි. මේ කාර්ය වෙනුවෙන් මගේ උපරිම කැපවීම ලබා දෙනවා. මෙයින් රටට විශාල සේවයක් කළ හැකියි. මගේ දැනුම හා අත්දැකීම් තුළින් ක්‍රීඩාවේ දියුණුවට යමක් කළ හැකි බව මගේ විශ්වාසයයි. රටට සේවය කරන්න හොඳ නායකත්වයක් තිබිය යුතුයි. ඒ සඳහා වත්මන් රජයත්, ක්‍රීඩා ඇමැතිතුමාත් මට නායකත්වය දෙනවා. ක්‍රීඩා ඇමැතිතුමා දක්ෂයෙක්. එතුමාව බොරු කියා රවටන්න කාටවත් බෑ” ජයසිංහ මහත්මිය පැවැසුවාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();