පිතිකරුවන්ගේ සැණකෙළියක් බවට පත්වී ඇති ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අද (28) ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට ඩුබායි ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙයි.
ඉන්දියාව සමග අවසන් සටනට එක්වනු ඇතැයි කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි පාකිස්තානුවන් අවසන් මහා තරගයෙන් ඉවතට ඇද දැමූ බංග්ලාදේශය පෙරේදා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ලකුණු 37ක ජයග්රහණයක් අත්කර ගනිමිනි.
ඇඟිල්ලේ ඇතිවූ ආබාධයක් නිසා බංග්ලාදේශ පිලේ සුපිරි තුන්ඉරියව් ක්රීඩක ශකීබ් අල් හසන් නොමැතිව ක්රීඩා කළ බංග්ලාදේශය අවසන් මහා තරගයට රැගෙන ගියේ හිටපු නායක මුෂ්ෆිකුර් රහීම්ය. පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිලේ ඉනිම ඕවර 48.5කදී ලකුණු 239කට සීමාවෙද්දී මුෂ්ෆිකුර් ඉනිම ගොඩනැංවූයේ ලකුණු 99ක්ම ලබාගනිමිනි. තරගාවලිය පුරාම ලකුණු අතරේ සිටින මේ පිතිකරුවා පන්දු 116කදී හතරේ පහර 9ක් එල්ල කළ අතර ඔහු මෙවර තරගාවලියේ සිය දෙවැනි ශතකයට ලකුණක් අඩුවී තිබියදී දැවී ගියේ ශහීන් ෂා අෆ්රිඩිගේ පන්දුවකට කඩුලු රකින සර්ෆ්රාස් අහමඩ් වෙත උඩපන්දුවක් ලබාදෙමිනි. ලකුණු 12කට කඩුලු 3ක්ම බිඳ වැටී තිබූ මොහොතේ මොහොමඩ් මිතුන් සමග එක්ව ඉනිම ගොඩ නැංවූ මුෂ්ෆිකුර් සිවුවැනි කඩුල්ලට ලකුණු 144ක්ම එකතු කළේය. ඔහුට අගනා සහයක් දුන් මිතුන් ලකුණු 60ක් රැස් කළේ පන්දු 84කිනි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ජුනෙයිඩ් ඛාන් ලකුණු 19කට කඩුලු 4ක් දවාලීය.
ලකුණු 240ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පාකිස්තානුවන්ට අවසන් මහා තරගයේ දොරටු වසා දැමූ බංග්ලාදේශ පන්දු යවන්නෝ ලකුණු 94ක් වෙද්දී මුල්පෙළ පිතිකරුවන් පස්දෙනකුම ආපසු ක්රීඩාගාරයට හරවා යැවූහ.
ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් හුදෙකලා සටනක නිරතවෙමින් ලකුණු 83ක් රැස් කළත් ජයග්රහණයට එය ප්රමාණවත් වූයේ නැත.
අද පැවැත්වෙන අවසන් මහා තරගයේදී බංග්ලාදේශයේ සියළු බලාපොරොත්තු පැටවී ඇත්තේ මුෂ්ෆිකුර් රහීම් කෙරෙහිය. ඔහු මෙවර තරගාවලියේදී ශතක දෙකක් සමග මුළු ලකුණු 297ක් ලබා වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි තැන පසුවෙයි.
එහි පළමු ස්ථානයේ පසුවන්නේ තරගාවලිය පුරා ලකුණු 327ක් ලබා සිටින ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ය. අපරාජිතව අවසන් මහා තරගයට යාමට ඉන්දියාවට වැඩි දායකත්වයක් ගෙන දුන් ධවාන් තරගාවලිය පුරා ශතක දෙකක් ලබාගත්තේය. ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා මුළු ලකුණු 269ක් ලබා තුන්වැනි තැන පසුවෙයි.
0 Comments