Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික කබඩි පිල තේරීමේදී හොර අස්සන් පිළිබඳ චෝදනා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම සහභාගීවීමට නියමිත විදෙස් සංචාරයකට තෝරාගත් ක්‍රීඩක නාම ලේඛනයට තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනකුගේ අස්සන් ව්‍යාජ ලෙස යොදා, එම ක්‍රීඩක නාම ලේඛනය ක්‍රීඩා ඇමැතිවරයා වෙත යොමුකොට ඇතැයි පැමිණිල්ලක් ගොණුවෙයි. ලබන මාසයේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ ක්‍රීඩක නාම ලේඛනයට අස්සන් තැබීමක් නොකළ බවත්, එවැනි නාම ලේඛනයක් තමන් නොදුටු බවත් තේරීම් කමිටු සාමාජිකයන් වන පරාක්‍රම ඒකනායක හා කේ. කේ. දසන්ත යන මහත්වරු අවධාරණය කරති.

පරාක්‍රම ඒකනායක හා කේ. කේ. දසන්ත යන මහත්වරු වසර කිහිපයක් තිස්සේ ජාතික කබඩි කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කොට අත්දැකීම් ඇති අයවන අතර එහි සභාපති ලෙස සුදර්ශන හෙට්ටිආරච්චි මහතා කටයුතු කරමින් සිටී.

මේ පිළිබඳ ‘දිනමිණ’ කළ විමසීමකදී පරාක්‍රම ඒකනායක මහතා පැවැසූවේ ඉදිරියේ පැවැත්වෙන කබඩි ජාත්‍යන්තර තරගාවලියක් සඳහා කණ්ඩායමක් නොතේරූ බවයි. “මා කිසිම දෙයක් දන්නේ නෑ. තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කිසිම කණ්ඩායමකට අනුමැතිය දී නෑ. කව්රුන් හෝ මගේ අස්සන ව්‍යාජ ලෙස යොදා ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු යොදනවා” තේරීම් කමිටු සාමාජික පරාක්‍රම ඒකනායක මහතා පැවැසීය.

කබඩි තරගාවලියක් සඳහා ක්‍රීඩකයන් තේරීමේ කිසිදු කටයුත්තකට සහභාගී නොවූ බව තේරීම් කමිටු සාමාජික කේ. කේ. දසන්ත මහතා ද තහවුරු කළේය. “තරගාවලිය මොකක්ද කියලාවත් දන්නේ නෑ. මා ත්‍රිකුණාමලයේ රාජකාරී කටයුතු කරන්නේ. මේ දිනවල කබඩි තේරීම් වලට සම්බන්ධ වෙන්න දැනුම්දීමක්වත් මට ලැබුණේ නෑ” දසන්ත මහතා ‘දිනමිණ’ ට පවැසීය

එහෙත් ශ්‍රී ලංකා කබඩි තේරීම් කමිටු සභාපති සුදර්ශන හෙට්ටිආරච්චි මහතා පැවැසූවේ කබඩි ලේකම්වරයා දුරකතන ඇමැතුමකින් මේ පිළිබඳ තමන් දැනුම්වත් කළ හෙයින් අදාළ නාම ලේඛනයට තම අස්සන යෙදූ බවයි. කබඩි විධායක සභාව හෙට (29) රැස්වන බවත් එහිදී විධායක සභාවේ අනුමැතිය ක්‍රීඩක නාම ලේඛනයට ලබා ගන්නා බව කබඩි ලේකම්වරයා දුරකතනය ඔස්සේ දැනුම් දුන් බව තේරීම් කමිටු සභාපතිවරයා පැවැසීය. එලෙස කළ ඉල්ලීමට ගරු කිරීමක් ලෙස තම අස්සන යෙදූ බව ජාතික කබඩි තේරීම් කමිටු සභාපති සුදර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ආසියානු ක්‍රීඩා උළෙලේ පරාජයෙන් පසුව ඉල්ලා අස්වූ කබඩි සභාපති අනුර පතිරණ මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ ව්‍යාජ අස්සන් සහිත ලේඛනයක් පිළිබඳ තමන් වෙත ද ආරංචි ලැබී ඇති බවය. “මේ වගේ දෙයක් වෙලා තියෙනවා නම් එය හෙලා දැකිනවා. මෙයට විධායක සභාවේ අනුමැතිය හිමි වෙයි කියා මා හිතන්නේ නෑ. කලින් පාලන කාලයකදීත් මේ වගේ අකටයුතුකම් වුණා. මේකෙන් සිදු වන්නේ කබඩි ක්‍රීඩාව විනාශවන එකයි” පතිරණ මහතාගේ අදහස විය.

ආසියානු ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම මූලික වටයෙන් ඉවතට ගිය අතර තායිලන්තය පරාජයට පත් කළේය. ඉන්දියාව, බංග්ලාදේශය හා කොරියාව හමුවේ ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();