Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිපුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට

පස්වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බංග්ලාදේශය බලා පිටත්ව ගියේය.

වෙන්නප්පුව සාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩක නිපුන් ධනංජයගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙයි. හෙට (29) සිට ලබන මස 7 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාව සමගින් සත්කාරක බංග්ලාදේශය, හොංකොං හා පාකිස්තානය ‘බී’ කාණ්ඩයෙන්ද, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, නේපාලය සහ එක්සත් ආරාබි එමීර් පිල ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලියට එක්වෙයි.

‘ඒ’ කාණ්ඩයේ තරග චිතගොංහිදීත්, ‘බී’ කාණ්ඩයේ තරග ඩකාහිදීත් පැවැත්වේ.

ශ්‍රී ලංකාව 29 වැනිදා සත්කාරක බංග්ලාදේශය සමගින් තරග වදින අතර, 30 වැනිදා හොංකොං පිල සමගත්, ඔක්තෝබර් 2 වැනිදා පාකිස්තානය සමගත් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල දිවයිනෙන් පිටත්ව යෑමට පෙර නායක නිපුන් ධනංජය පැවැසුවේ පසුගිය වසරේ ශ්‍රී ලංකා පිලට මේ තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවුවත් එම වරද මෙවර සිදු නොවණු ඇති බවට දැඩි විශ්වාසයක් තමන් තුළ පවතින බවයි.

ආසියානු යොවුන් කුසලානය තවමත් දිනා නොමැති ශ්‍රී ලංකා පිලට මෙවර එම අවස්ථාව ඉටුකරගත හැකි වනු ඇතැයි ද තම කණ්ඩායම ඊට හොඳ සූදානමකින් පසුවන බවද නිපුන් පැවැසීය.

19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පැවැසුවේ මේ තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම අභියෝගයක් බවත් එම කණ්ඩායම්වලට පීඩනයක් එල්ල කිරීමට බලාපොරොත්තු වන්නේ පන්දු රැකීම දියුණු කරගනිමින් බවත්ය.

නායක නිපුන් සමගින් මේ සංචිතයට ඇතුළත්ව සිටින නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මතුෂ්ක සහ කලණ පෙරේරා පසුගිය වසරේ පැවැති තරගාලියේදීද ශ්‍රී ලංකාව නියෝජනය කළහ.

මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරගාවලි හතරේ දී ඉන්දියාව තෙවරක් ශූරතාව දිනා ඇත්තේ පළමු තරගාවලියේදී පාකිස්තානය සමග සම ශූරතාවද බෙදා ගනිමිනි.

පසුගිය වසරේ පැවැති තරගාවලියේදී ඇෆ්ගනිස්තානය ශූරතාව දිනාගත් අතර එවර පාකිස්තානය අනුශූරයන් වූයේ දෙවැනි වරටය. මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ඉහළම දස්කම ලෙස වාර්තා වන්නේ 2016 වසරේ පැවැති තෙවැනි තරගාවලියේදී අනුශූරතාව දිනා ගැනීමය. එවර ශ්‍රී ලංකා පිල කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් තරගාවලියට එක්විය.

ශ්‍රී ලංකා යොවුන් සංචිතය - නිපුන් ධනංජය (නායක), පසිඳු සූරියබණ්ඩාර, නවෝද් පරණවිතාන, කමිල් මිෂාර, නිශාන් මතුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ශෂික දුල්ෂාන්, කල්හාර සේනාරත්න, රොෂාන් සංජය, සඳුන් මෙන්ඩිස්, කළණ පෙරේරා, නිපුන් මාලිංග, නවීන් ප්‍රනාන්දු, සේල්වරාසා මතුෂාන්.‍

අතිරේක - ලක්ෂිත මධුරසිංහ, මුදිත ලක්ෂාන්, විජයකාන්ත වියස්කාන්ත්, විහාන් කලිඳු, චාමික ගුණසේකර

නිරෝෂාන් ප්‍රියංකර

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();