Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් දරුවන්ගේ මලල ක්‍රීඩා මංගල්‍යය ඔක්. 1 දා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

රටපුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 6,000 කට අධික සංඛ්‍යාවක් සහභාගීවන 34 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලබන මස 1 වැනිදා සිට 05 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන මේ මලල ක්‍රීඩා තරගාවලියේ ජය සංකේත ප්‍රදානය හා සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කොට ඇත.

වසර 1984දී එවක අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක්මත ආරම්භවූ මේ මලල ක්‍රීඩා උළෙල පාසල් දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීම උදෙසා ඇති හොඳම අවස්ථාව ලෙස සැලකේ. මෙවර තරගාවලිය සඳහා පසුගියදා නිමාවූ දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී හා ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන බැවින් වඩාත් උණුසුම් ස්වරූපයක් ගනු ඇත. මෙහිදී ජයග්‍රහණය ලබන දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 62කට මුදල් තෑගි පිරිනැමේ.

ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව දැල්වීම ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 රන් පදක්කම් දිනූ අකුරම්බොඩ ජාතික පාසලේ අරුණ දර්ශන හා දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 4ක් දිනාගත් මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහලේ අමාශා ද සිල්වා යන දෙපල සිදු කරති. ක්‍රීඩක ප්‍රතිඥාව කියැවීම කුරුණෑගල මලියදේව විදුහලේ පසිදු කොඩිකාර සිදුකරනු ඇත.

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය පිළිබඳ කරුණු දැක්වීම වෙනුවෙන් මාධ්‍ය හමුවක් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ඔලිම්පික් නිවහනේ දී පැවැත්වූ අතර එහිදී අධ්‍යාපන ඇමැතිවරයාගේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා සඳහන් කළේ මෙවර පාසල් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39000ක් සහභාගී වන බවයි.

පසුගිය කාලය පුරා ඇද වැටී තිබූ පාසල් ක්‍රීඩා යළිත් නගා සිටුවීම සඳහා වත්මන් අධ්‍යාපන ඇමැතිවරයාගේ උපදෙස් මත කටයුතු කරමින් සිටින බවත්, එහි ප්‍රතිඵල දැන් ක්‍රමයෙන් දක්නට ලැබෙන බවත් මේ වනවිට ආසියාවේ හොඳම කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ශ්‍රී ලංකාව සතු බවත් සුනිල් ජයවීර මහතා පැවැසීය.

“මේ වසරේ සියලුම ක්‍රීඩා පාසල්වල දරුවන්ට ඇදුම්, සපත්තු ඇතුළු සියලු අවශ්‍යතා වෙනුවෙන් අමාත්‍යාංශයෙන් ඇති තරම් මුදල් දුන්නා. ඒ වගේම ආසියාව ජයගත් සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂය බැගින් ලබා දුන්නා. සුමග ශිෂ්‍යත්ව මගින් හැම දරුවෙකුටම මාසයකට රුපියල් 2500 බැගින් දෙනවා. ක්‍රීඩා උපකරණ දෙන්න පමණක් රුපියල් මිලියන 500ක් පමණ වියදම් කළා” ජයවීර මහතා පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙනම වැඩ පිළිවෙළක් සකස් කළ බව සඳහන් කළේය.

“මුරලි, සංගා, මහේල, සිදත්, රොෂාන් වැනි අති දක්ෂ ක්‍රීඩකයන් සේම ජයන්ත සෙනවිරත්න වැනි දක්ෂ පුහුණුකරුවන් ඇතුළු ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මා ඒ කටයුත්ත භාර කළා. කිසිදු ඇගිලි ගැසීමක් නැතිව ඒ අය එය ඉදිරියට ගෙන යනවා.

අද ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල කඩා වැටීමක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව එක් එක් අයගේ ප්‍රතිරූප ගොඩ නගා ගැනීමට ක්‍රීඩාව යොදා ගැනීමයි. අනෙක් පැත්තෙන් ක්‍රීඩාවට අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය යොදා ගනිමින් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට සහ ව්‍යාපාර කිරීමට ඇතැම් අය කටයුතු කිරීම පරිහානියට හේතුවයි” ඇමැතිවරයා පැවැසීය.

“අපි අලුතින් හිතලා වැඩ කරන්න සූදානම්. ඒ නිසයි ආසියානු ක්‍රීඩා උළෙලට ගිය පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස්ට ඉන්දුනීසියාවේ සිට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන්නේ. එයින් අප සමාජයට පෙන්නුම් කළා ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙකම එකවර කිරීමේ පහසුව අද උදාවී තිබෙන බව. ප්‍රවීණ මලල ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ මහත්මියට උපාධියක් හැදෑරීම සඳහා පසුගිය කාලයේදී අවස්ථාව ලබාදී තිබූණේ නෑ. නමුත් මගෙන් ඇය ඉල්ලීමක් කළා. රටට කීර්තියක් ලබා දුන් ඇයට එම උපාධිය හැදෑරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. ක්‍රීඩාව සඳහා කැපවීම ඇති අයට අධ්‍යාපන අවස්ථා තිබෙන බවට තවත් උදාහරණයක් ඒ. සුසන්තිකාගේ දරුවන් දෙදෙනාම කොළඹ හොඳම පාසලකට දැම්මා. රට වෙනුවෙන් කැප කිරීම් කළා නම් චක්‍රලේඛ බල බලා ඉන්නේ නෑ. උපරිම සහයෝගය දෙනවා” කාරියවසම් මහතා පැවැසීය.

ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබුවන් 3850 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බඳවා ගැනීම සඳහා මේ වනවිට තෝරා ගෙන ඇති බවත්, ඉදිරි සතියේ කැබිනට් පත්‍රිකාවක් මගින් එම පිරිස් කඩිනමින් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන ඇමැතිවරයාගේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ මංජුල කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

ඡායාරූපය - චමින්ද නිරෝෂන

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();