Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුත්තලම ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් නවතී

පුත්තලම දිසාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නංවාලීමේ අරමුණින් රුපියල් මිලියන 300ක පමණ මුදලක් වෙන් කර ආරම්භ කරන ලද පුත්තලම ක්‍රීඩා සංකීර්ණය වසර හයක කාලයක් ගතවූවද මේ දක්වා ඉදි කිරිම් නිමා නොකිරිම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

පුත්තලම නගර සභාවට අයත් නාගරික ක්‍රීඩාංගණය පුත්තලම දිසාවේ ක්‍රීඩා සංකිර්ණය ලෙස සංවර්ධනය කිරිමට යොදා ගන්නා ලද අතර ඊට පුත්තලම නගර සභාවේ අනුමතිය ද ලබා දෙන ලදි. පසුගිය 2012 වසරේදී මුල් ගල් තබා සංවර්ධනය කිරිමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අතර සංවර්ධන කටයුතු නිම වනතුරු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාංගණය භාවිත කිරිම නතර කෙරිණි.

පාපන්දු, වොලිබෝල්, ජවන හා පිටිය ක්‍රීඩා, ආරාධිතයන්ගේ ක්‍රීඩා මණ්ඩපය, ප්‍රේක්ෂකාගාර මෙන්ම ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ද, පිහිණුම් කටාකයක් ද මෙම වැඩපිලිවෙළ අනුව ඉදි කිරිමේ කටයුතු ආරම්භ විය. වසර හයක කාලයක් ගතවි ඇතත් මෙම නව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ ඉදි කිරිම් කටයුතු මේ දක්වා නිමාවට පත්වී නැත.

පුත්තලම නගර සීමාව තුළ ක්‍රීඩා සංගම් 14 ක් පිහිටුවා ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් පාපන්දු ක්‍රීඩාව සඳහාය. පසුගිය කාලයේ විවිධ ක්‍රීඩා ඉසව් පැවැති මේ ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමට මෙන්ම ක්‍රීඩා පුහුණුවට භාවිත කිරීම තහනම් වී තිබේ.

ගෘහස්ථ ක්‍රීඩාගාරය හා පිහිණුම් තටාකය පරිශ්‍රය මේ වන විට ඉබි යතුරු ලා අගුල් දමා වසා ඇත.

ක්‍රීඩා සංකීර්ණයේ ඉදි කිරිම් නිසි ලෙස නිමා කර නොමැති අතර ප්‍රේක්ෂකාගාරයේ ආරක්ෂක වැටේ යකඩ මේ වන විට දිරාපත්වන තත්ත්වයකට පත්ව ඇත. විවෘත ප්‍රේක්ෂකාගාරය ඉබාගාතේ යන සුනඛයන්ගේ නවාතැනක් වී තිබේ.

හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා මේ ක්‍රීඩාංගණයට පැමිණ ඉදි කිරිම් ප්‍රමාදය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කළත් මේ දක්වා ක්‍රීඩා පිටියේ ඉදි කිරිම් අවසන් කර නොමැත.

මේ පිළිබඳ වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය කියා සිටියේ අදාළ ඉදි කිරිම් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කරනු ලැබූ බැවින් ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කිරීමට දැනුවත් වී නොමැති බවකි. ඉදි කිරිම් කටයුතුවල දි වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ සම්බන්ධිකරණයක් හෝ ලබා නොමැති බවත්, මෙම ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් කර දෙන ලෙස වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි ඇය සඳහන් කළාය.

ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් වෙනුවෙන් මිලියන 300ක මුදලක් වෙන් කර තිබූ බවත්, පසුව එම මුදල අඩු කර ඇතැයි වාර්තා වූ බවත් පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ.බායිස් මහතා අප කළ විමසුමකදී පැවැසීය. ක්‍රීඩා සංකීර්ණයේ ඉදිරි කිරීම් වහා නිමා කර දෙන ලෙස පුත්තලම නගර සභාව ද ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව ද සභාපතිවරයා කීවේය.

මුන්නේශ්වරම සමුහ ඊ.සී.ප්‍රනාන්දු

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();