Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹට විධිමත් සංවර්ධනයක්.

Patali_Champika-03

කොළඹ නගරයට, ඒ වගේම අවට ප‍්‍රදේශය විවිධ කලාපවලට වෙන් කරලා ඒ කලාප අනුව ගොඩනැඟිය යුතු බව හඳුනාගත් බවත් ඒ අනුව කොළඹ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානයක් හැටියටත් වගේම තාක්ෂණ නගරයත්, ඒ වගේම කාර්මික නගර, ප‍්‍රවර්ජන නගර, ගුවන් නගර ආදී හඳුනාගැනීමක් සිදුකල බවත්  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, ‘කොළඹ කතිකාව’ වැඩසටහනට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මම මේ අමාත්‍යාංශයට ගියේ 2015 සැප්තැම්බර් 16. එතකොට අපිට ජනාධිපතිතුමා, අගමැතිතුමා කිව්වේ මහනගර අධිකාරිය නමින්  බලගතු අධිකාරියක් බස්නාහිර පළාතට බලපාන විදිහට සියළුම බලතල සහිතව අලූතින් ඇති කරනවා, ඒ වගේම මේ පිළිබඳ සැලසුමක් ඇති කරනවා කියලා. එම සැලසුම අපි මාස කිහිපයකින් ඇති කළා.  2016 ජනවාරි 29 එම සැලසුම අපි ඉදිරිපත් කළා. ඒ සැලසුමේ මූලික කරුණු 4 ක් අපි දැක්කා. එකක් තමයි ආර්ථික වර්ධනය. අනෙක් එක තමයි සමාජ සමානාත්මතාවය. අනෙක තමයි පරිසර සහජීවනය. අනෙක තමයි පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංස්කෘතික ජීවිතය ඔහුගේ ප‍්‍රීතිමත් භාවය. පුද්ගල සංතුෂ්ඨිය. එම හතර පදනම් කර ගත් සැලසුමක් අපි ඉදිරිපත් කළා. නමුත් එම කාලයේ තිබූ දේශපාලන වාතාවරණය නිසා අපට බැරි උනා අපේ පණත අනුමත කරගෙන අධිකාරියක් පිහිටුවා ගන්න. එම නිසා අපට සිදු වුණා තිබෙන අධිකාරි වලින් අනෙකුත් අමාත්‍යාංශවල සහයෝගයෙන් කටයුතු කරන්න. ඒ නිසා ඒ සඳහා කාලයක් වැය කරන්න අපට සිදුවුණා.

බස්නාහිර තත්වය ජනගහනයෙන් 28% ක්. ලක්‍ෂ 58 ක ජනගහණයක්. ආර්ථිකයෙන් 45% ක්, ඒ වගේම කාර්මික නිෂ්පාදනයෙන් 73% ක්. මූල්‍යමය වශයෙන් ගත්තහම 80% කට වැඩි ප‍්‍රමාණයක් හැසිරෙන වෘත්තීයවේදීන් ඒ වගේම සමාජයේ සියළුම දෙනා ජීවත්වන, වරාය වගේම අන්තර් ජාතික ගුවන්තොටුපල ඇතුළත්. එතකොට මේ ගැන හිතල අපි කලාපකරණයක් යෝජනා කළා. කොළඹ නගරයට, ඒ වගේම අවට ප‍්‍රදේශය විවිධ කලාපවලට වෙන් කරලා ඒ කලාප අනුව ගොඩනගන්න. අපි හඳුනා ගත්තා කොළඹ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානයක් හැටියටත් ඒ වගේම තාක්ෂණ නගරයත්, ඒ වගේම කාර්මික නගර, ප‍්‍රවර්ජන නගර, ගුවන් නගර ආදී හඳුනාගැනීමක් අපි මේ යටතේ සිදු කළා.

ඒ අනුව අපි හඳුනාගත්ත එක් දෙයක් තමයි පරිපාලන නගරය. එය 1985 ආරම්භ උනේ. 2025 වන විට අවසන් කළ යුතුයි. කොළඹ නගරයේ දැනට රාජ්‍ය කාර්යාල 113 ක් පිහිටා තිබෙනවා. එම 113 න් මූල්‍ය ආයතන හැරුණාම අනෙකුත් සියළුම දේවල් ගෙනයන්න පුළුවන් ගොඩනැගිලි ගණනාවක් අපි දැන් ඉදිකරගෙන යනවා. සෙත්සිරිපාය තෙවන අදියර දැන් සිහිනයක් නෙමෙයි මහල් 28 ක ගොඩනැගිල්ලක් දැන් ඉදිවෙමින් යනවා. සෙත්සිරිපාය 4 ත් අපි මේ වසරේදී ඉදිකිරීම් ආරම්භ කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවට අනුයුක්ත සියලූම ස්වාධින කොමිෂන් සහ අනෙකුත් ආයතන ගෙනයන, පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු සියළුම රාජ්‍ය ආයතන ටික එතනට ගෙනයන්න පුළුවන් තවත් ගොඩනැගිල්ලක් අපි පාර්ලිමේන්තු ප‍්‍රදේශයේ ඉදිකරනවා. ඒ සියළුම ව්‍යාපෘති මෙම වසරේදී වැඩ ආරම්භ කරන්න නියමිතයි. එතකොට කොළඹ නගරයේ තිබෙන සියළුම රාජ්‍ය ආයතන සියල්ලම 2025 වන විට අවසන් වෙනවා. මෙහි සඳහන් කළ ඇතැම් ගොඩනැගිලි 2020 දෙසැම්බර් වන විට අවසන් වෙන්න නියමිතයි.

ඊලඟට ඉතාම වැදගත් දේ කොළඹ නගරය, එහි කොළඹ වරාය, වරාය නගර ව්‍යාපෘතිය, ඒ වගේම බේරේ වැව ව්‍යාපෘතිය, ඒ වගේම කොළඹ කොටුවේ තිබෙන ඓතිහාසික ගොඩනැගිලි, ඒ වගේම කොටුවේ ගොඩනගන්න බලාපොරොත්තුවන ප‍්‍රවාහන මධ්‍යස්ථානය, ගෝල්ෆේස් එකත් සමග එකට ගොඩනැගීමට බලාපොරොත්තුවන මුහුදු නගරය. ඒවගේම බේරේ වැව වටේ තිබූ පැල්පත්වාසී සියළුම දෙනාම අපි නියම විදිහට ඒ අයත් සමග සාකච්ඡා කර කලබලයකින් තොරව ඒ සියල්ල ඉවත් කර තිබෙනවා.  දැන් එයින් අඩක් රේඛිය උද්‍යානයක් හැටියට සංවර්ධනය කර තිබෙනවා.  ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒ වගේම ඉතුරු අඩ ඊ ළඟ අවුරුදු එකහමාරෙදි අපි සකස් කරනවා. ඒ අනුව බේරේ වටේට අද  ඕන කෙනෙකුට ගමන් කළ හැකි තත්වයක් අපි හදලා තිබෙනවා. කොළඹ නගරයේ මලාපවහන පද්ධතිය සම්බන්ධ කර තිබෙන්නේ බේරේ වැවට. එය තමයි ඇත්ත කතාව එය 1850 බි‍්‍රතාන්‍ය යුගයේ තිබූ කොළඹ මලාපවහන පද්ධතිය, ජලාපවහන පද්ධතිය, පානීය ජල පද්ධතිය  අද දක්වාම තිබෙන්නේ. එය කිසිම අවස්ථාවක අලූත් වැඩියාවක් කර නැහැ. ඊට පසුව සිදුකර තිබෙන්නේ පාරවල්වල පේමන්ට් හදලා, මල් හිටවලා ලස්සන කර තිබෙනවා. නමුත් ඇතුලේ වෙනසක් සිදුකර නැහැ. කොළඹ නගරයට පානීය ජලය ලීටර් 100 ක් අතුළු කරනවිට ලීටර් 40 ක් අපතේ යනවා. මොකද අවුරුදු 150 ක් නලපද්ධතිය පරණයි. දැන් එම නල පද්ධතිය අපි ඉවත් කරන්න කටයුතු කරගෙන යනවා. අවුරුදු 150 ක් පැරණි දිරපු නල පද්ධතිය ජල සම්පාදන මණ්ඩලය මගින් ඉවත් කරන්නේ. ඒ වගේම මලාපවහන පද්ධතියත් අපි විධිමත් කරගෙන යනවා ආසියානු සංවර්ධන බැංකුවේ මූලිකත්වයෙන් නගර සභාව මැදිහත්ව. එයත් අත්‍යාවශයෙන්ම සිදු කළ යුතු දෙයක්.  මොකද සාහසික අපරාධයක් මේ ජලතලයට මලාපවහන එකතු කිරීම.

කොළඹ ගංවතුර පාලනයට වැඩසටහන් 36 ක් අපේ අමාත්‍යාංශය හඳුනාගෙන තිබෙනවා. එම වැඩසටහන්් මේ වන විටත් කි‍්‍රයාත්මකයි. ඒ යටතේ පොම්පාගාර 3 ක් ඉදිකෙරෙනවා. ඒ නගලගම්වීදිය, අඹතලේ සහ සෙන් සෙබස්තියන් දකුණු ඇල ආසන්නයේ ය. ඒ වගේම වැසිජලය ඉවත් කිරීමේ වැඩපිළිවෙල අපේ අමාත්‍යාංශය මගින් සිදුකරගෙන යනවා. ඒ වගේම බේරේ පිරිසිදු කිරීම සඳහා ඊ ළඟ වසර දෙකේදී දුගඳ හමන කොටස් අපි ඉවත් කරනවා. අපි සාම්පලයක් පරීක්‍ෂා කළා ගංගාරාමය පැත්තේ එම අවස්ථාවේදී විශාල දුගඳක් පැතිරිලා ගියා, මාධ්‍ය මගින් ද වාර්තා කරනු ලැබුවා. එමගින් අපි අත්දැකීම් ලබාගෙන ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් එය සම්පූර්ණයෙන්ම ඩෙ‍්‍රජ් කිරීම සඳහා ඉදිරි කාලයේදී කි‍්‍රයා කරනවා.

1860 දී මෙරටට දුම්රිය සේවය හඳුන්වා දීමෙන් පසු ඇතිවන අලූත් අත්දැකීමක් සැහැල්ලූ දුම්රිය සේවය. මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිට පිටකොටුව දක්වා සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර ඇති අතර 2024 වන විට එය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ඒ වගේම මාර්ග තදබදය පාලනය කිරීම සඳහා අපි කොළඹට මේ වනවිට ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වාදී තිබෙන අතර එය සාර්ථකව කි‍්‍රයාත්මක වෙනවා. ඒ වගේම ඉදිරියේදී බේරේ වැවෙහි බෝට්ටු සේවාවක් ද ආරම්භ කිරිමට අප කටයුතු කරනවා. සියළු ප‍්‍රවාහන සේවාවන් එකම ස්ථානයකින් කි‍්‍රයාත්මක වන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමද මේ වන විට ආරම්භ කර ඇති අතර පළමු  ප‍්‍රවාහන මධ්‍යස්ථානය මේ වන විට කොට්ටාව මාකුඹුරේ ඉදිකිරීම් අවසන්ව මෙම වසරේදීම විවෘත කිරීමට නියමිතයි.

අපට තිබෙන අනෙක් දැවෙන ගැටළුව පොදු ජනතාවගේ නිවාස ගැටළුව. 70,000 ක් විතර පවුල් 65,000 ක් පමණ නිවාසවල ජීවත් වෙනවා. මේ හැම කෙනාටම නිවාසයක් ලබාදීම සඳහා අපි කටයුතු කරනවා. අක්කර 900 ක පමණ මේ අය විසිරී සිටිනවා. 2016 සිට 2018 වසර අවසන් වන විට ප‍්‍රධාන ව්‍යාපෘති 08 අපි අවසන් කරනවා. ගෙවල් 8,113 ක් අපි හැදුවා. මාලිගාවත්ත ඇතුළු මුළු කොළඹම මීට කලින් හැදිලා තිබුණේ ගෙවල් 2,600 යි.  2020 වන විට තවත් ගෙවල් 7,743 ක වැඩ නිම වෙනවා. තවත් 4,904ක වැඩ අපි ආරම්භ කරනවා. ඒ කියන්නේ ගෙවල් 20,000 ක් අපේ ජනතාවට ලැබෙනවා. ඒ ගෙවල් 20,000 ත් සමග අලූත් ජීවිතයක් ලබා දෙන්න අපි ඒ ජනතාවත් සමග කටයුතු කරනවා, ඒ අයගේ වෘත්තීය, අධ්‍යාපන සහ කී‍්‍රඩා මට්ටම ඉහළ නංවන්න. එය තමයි මේ රටේ කරන්න  ඕන දේ. මෙයට අකමැති කට්ටිය ගොඩක් ඉන්නවා නමුත් කරන්න දෙයක් නැහැ අපි අනිවාර්යයෙන්ම මේ වෙනස මේ රටේ ඇතිකර ගත යුතුයි. ඒ වගේම මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් ප‍්‍රථමයෙන්ම  ඕවල් කී‍්‍රඩාංගනය අසළ නිවාස ව්‍යාපෘතියක් පටන් ගත්තා. එය මේ වසර අගභාගයේදී වැඩ නිම වෙනවා. ඒ වගේම බොරැල්ල එලියට් පෙදෙස, ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසලත්, පන්නිපිටිය වීරමාවත ඇතුළු නාගරික සංවර්ධන අධිකාරිය මගින් රජයේ සේවකයින් සඳහා නිවාස 5,000 ක් හදන වැඩසටහන දැන් ආරම්භ කර වැඩකරගෙන යනවා.

2015 දී නාගරික සංවර්ධන අධිකාරිය බංකොලොත් වෙලා තිබුණේ. හැම තැනම පාරවල්වල ගල් අල්ලන්න ගිහින්, නගර ලස්සන කරන්න ගිහින්, මිලියන 39,000ක ණය කන්දකට නාගරික සංවර්ධන අධිකාරිය වට්ටලා තිබුණේ. නගර ලස්සන කරා කියන අය මතක තබා ගත යුතුයි නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු මුළු රටම භයානක ණය උගුලක හසුකර තිබුණා. එම ණය උගුලින් නාගරික සංවර්ධන අධිකාරිය නිදහස් කරගෙන තිබෙනවා. පසුගිය වසරේ අපට පුළුවන් උනා මිලියන 23,000ක් ඉතිරි කර ගන්න. එය අපි ආයෝජනය කර තිබෙනවා මේ පරිපාලන නගරය ගොඩනගන්නත්, පැල්පත්වාසී දුගී ජනතාවට නිවාස ලබා දෙන්නත්, මධ්‍යම පාන්තික නිවාස ඉදිකරන්නත්. එම ආකාරයේ බලගතු ආයෝජනයකින් බත්තරමුල්ල ප‍්‍රදේශයම වෙනස් කරන්න අපි කටයුතු කරනවා.

සියළු අභියෝග  මැද රට පුරා කුඩා නගර 206 ක් ගොඩනගන්න සුඛිත පුරවර නමින් ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා. ඒ වගේම රටපුරා කුඩා ව්‍යාපෘති 1500 කට වඩා අපි දියත් කර තිබෙනවා. කොළඹට පමණක් සීමා නොවී අනුරාධපුර, යපනය, මහනුවර, ගාල්ල, මාතර, රත්නපුර, වැල්ලවාය  වැනි නගර 13ක් තෝරාගෙන විධිමත් සංවර්ධනයක් සිදු කරනු ලබනවා. ලක්‍ෂ 20ක වැඩ කර ලක්‍ෂ 25ක ප‍්‍රචාරය අපේ නැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

The post කොළඹට විධිමත් සංවර්ධනයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();