ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියර ලෙස මේ මස අගභාගයේ දකුණු කොරියාවේ පැවැත්වෙන තරගාවලිය සඳහා සුදර්ශන මුතුතන්ත්රිගේ නායකත්වයෙන් ශ්රී ලංකා කණ්ඩායම ඊයේ නම් කරනු ලැබීය. ජාතික රග්බි තේරීම් කමිටුව විසින් නම් කරනු ලැබූ ක්රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායමට නවක ක්රීඩකයන් වන සාන්ත පීතර විදුහලෙන් බිහිවූ නිෂොන් පෙරේරා සහ වෙස්ලි විදුහලෙන් බිහිවූ ශෙහාන් ඩයස් පළමු වරට එක්වී සිටිති.
පසුගිය ආසියානු ක්රීඩා උළෙලේ රග්බි තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම නිසා ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර ලෙස හොංකොං හී පැවැති තරගාවලියට එක්නොවූ සුදර්ශන මුතුතන්ත්රීට යළි නායකත්වය පැවැරී තිබේ. එසේ වුවත් ආසියානු ක්රීඩා උළෙලේදීම ආබාධයකට ලක්ව සිටි මහනුවර ක්රීඩා සමාජයේ සුපිරි සෙන්ටර් ක්රීඩක ධනුෂ්ක රන්ජන් තවදුරටත් විවේක ගැන්වීමට තේරීම් කමිටුව තීරණය කර ඇත. ඔහු ලබන මස කොළඹ පැවැත්වෙන තුන්වැනි අදියරේ තරගාවලියට එක්වීමට නියමිතය.
මීට අමතරව හොංකොං තරගාවලිය අතරතුර ආබාධවලට ගොදුරු වූ කවිඳු පෙරේරාට සහ ගයාන් වීරරත්නට දකුණු කොරියානු තරගාවලිය අහිමිවී ඇති අතර විනය පරීක්ෂණයක් මත ජේසන් දිසානායක තරගාවලිය සඳහා තෝරාගෙන නොමැත.
මේ මස 29 සහ 30 දෙදින දකුණු කොරියාවේ ඉන්චෙන් නුවර නැම්ඩොංග් ස්ටේඩියම් හී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියරේ තරගාවලිය සඳහා එක්වන ශ්රී ලංකා කණ්ඩායම හෙට (26) කොරියාව බලා පිටත්වීමට නියමිතය.
මෙවර තරගාවලියේදී ‘බී‘ කාණ්ඩය යටතේ තරග වදින ශ්රී ලංකා පිලට හොංකොං, චීන තායිපේ සහ සත්කාරක දකුණු කොරියාව සමග මූලික වටයේදී තරග වැදීමට සිදුවී තිබේ. මේ අභියෝගාත්මක වටයෙන් පසුව කුසලානය සඳහා අවසන් පූර්ව වටයට එක්වීමේ අවස්ථාව අත්කරගැනීම ශ්රී ලංකා පිලේ බලාපොරොත්තුව වී තිබේ. ජපානය, පිලිපීනය, චීනය සහ මැලේසියාව තරගාවලියේ ‘ඒ‘ කාණ්ඩයට එක්වී සිටී. හොංකොං හී පැවැති පළමු අදියරේ තරගාවලියේදී කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට එක්වූ ශ්රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්රී ලංකාව එහිදී සත්කාරක හොංකොං පිල හමුවේ පරාජයට පත්වූ අතර පිලිපීනය පරදවා තරගාවලියේ තුන්වැනි තැන අත්කර ගත්තේය.
ශ්රී ලංකා රග්බි පිල මෙසේය - සුදර්ශන මුතුතන්ත්රී (නායක), ශ්රීනාත් සුරියබණ්ඩාර, දනූෂ දයාන්, සුදම් සුරියආරච්චි, කෙවින් ඩික්සන්, රීසා රෆායිඩීන්, බුද්ධිම පියරත්න, අදීෂ වීරතුංග, නවීන් හේනකංකානම්ගේ, දිනුක් අමරසිංහ, ශෙහාන් ඩයස්, නිෂොන් පෙරේරා.
0 Comments