Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලේ මදය නැහැ – ජවිපෙ කියයි.

JVP_Press

බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලේ මුළු වියදම ගැන ප‍්‍රශ්න කළ බවත් ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 7029ක් බවත් මේ වනවිට රු. මිලියන 5854ක් වැයවී  තිබෙන බවත්  තව ඉතිරිවී තිබෙන්නේ මිලියන 1200කට ආසන්න මුදලක් බවත් නමුත් ප‍්‍රශ්නය තිබෙන්නේ ගොඩනැගිල්ලේ පිට පොත්ත ලස්සනට පෙනුණාට ඇතුළේ මදය නැති වීම බවත් අත්‍යාවශ්‍ය කිසිවක් සම්පූර්ණ කර නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික ලක්‍ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්‍ෂ්මන් නිපුණආරච්චි,

බස්නාහිර පළාත් සභාවේ පුටු සිද්ධියට අදාලව ආණ්ඩුකාරතුමා වාර්තාවක් ලබාදීලා තිබෙනවා. ඒ අනුව පුටු ගෙන්වීම නතර කොට තිබෙනවා. මේ සඳහා මැදිහත්වූ ආණ්ඩුකාරතුමාටත් මාධ්‍යවලටත් ෆේස්බුක් සමාජ ජාල කි‍්‍රයාකාරීන්ටත් පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව ඊට එරෙහිව කටයුතු කරපු මහජනතාවටත් අපගේ ස්තුතිය පිරිනමනවා. මේ මගින් සිදුවීමට ගිය විශාල මූල්‍ය අලාභයක් වළක්වන්න හැකිවීම පිළිබඳව අපිට නිරාමිස සතුටක් තිබෙනවා. පළාත් සභා සුදු අලියෙක් බව මේ සිදුවීමෙනුත් ඔප්පු කළා. පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ පාර්ලිමේන්තුවට යන්න බැරිවීමේ හීනමානය වෙනුවෙන් පළාත් සභාව පාර්ලිමේන්තුව මට්ටමට ඔසවා තැබීමට සිදුකරන ජනතා මුදල් නාස්තිය පැහැදිළිව රටට පෙන්නුවා. පළාත් සභා අලියා තව තවත් සුදු කිරීමට මුදල් නාස්තිකරන බව රටට හෙළිදරව් වුණා. ඒ විතරක් නෙවෙයි බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමතිවරයා දිව දෙකේ කතා කාරයෙක් බව ඔප්පු වුණා. ඔහු මුලින් කිව්වේ කවුරු විරුද්ධ වුනත් පුටු ගෙන්වන එක නතර කරන්නේ නැහැ කියලා. ආණ්ඩුකාරවරයා නැවැත්වූ පසු ප‍්‍රධාන ඇමතිවරයා දැන් කියනවා තමන් එය දැනගත්තේ මාධ්‍යවලින් බවත් දැනගත් මොහොතේම පළාත් ලේකම්ට කතා කරලා පුටු ගෙන්වීම නතර කළා කියලා.

මේ සිදුවීමේදී අපේ රටේ ජනතාව පෙන්නුවා දේශපාලන පක්‍ෂ භේදයකින් තොරව ජනතා මුදල් නාස්තියට තමන් විරුද්ධ බව. නමුත් ජනතා නියෝජිතයින් ලෙස පෙනී ඉන්න එජාපයේ, ශී‍්‍රලනිපයේ, පොහොට්ටුවේ මන්තී‍්‍රවරුන් පෙනී සිටියේ පුටු ගෙන්වීම සාධාරණීකරණය කිරීමටයි. මෙම සිදුවීම රටට හෙළිදරව් කිරීම පිළිබඳව ඔවුන් සියලූ දෙනා චෝදනා කළේ ජවිපෙ මන්තී‍්‍රවරුන්ටයි. අපි මෙම සිදුවීම් පිළිබඳව ආණ්ඩුකාරවරයාට ලිඛිතව දැනුම් දුන්නා. පසුව රටේ ජනතාව දැනගත යුතු නිසා මාධ්‍යයටත් කිව්වා. අනෙක් පක්‍ෂවල මන්තී‍්‍රවරුන් අපට චෝදනා කළේ පළාත් සභා මන්තී‍්‍රවරයා හෑල්ලූවට ලක් කිරීමට කටයුතු කරනවා කියලයි. ජවිපෙ මන්තී‍්‍රවරු හය දෙනා හැර තවත් මන්තී‍්‍රවරුන් දෙදෙනෙක් පමණයි මෙම සිදුවීමට එරෙහිව කටයුතු කළේ. එම මන්තී‍්‍රවරු දෙදෙනා මහ ඇමතිවරයා සමඟ තිබුණු පෞද්ගලික කෝන්තරයක් නිසා විරුද්ධ වුණා කියලයි අපි හිතන්නේ.

පුටු ගෙන්වීමේ යෝජනාව ජනනය වුණේ කොහොමද කියලා ආණ්ඩුකාරවරයාත් ප‍්‍රශ්න කරනවා. ඒක අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. යෝජනාව ජනනය වුණේ පළාත් කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුවයි. ඇමති මණ්ඩලය තමයි ඒකට වගකියන්න ඕනෑ. ඇමති මණ්ඩලය ගත්ත තීරණය සභා කටයුතු කාරක සභාවට ගේනවා. සභා කටයුතු කාරක සභාව මමත් නියෝජනය කරන නිසා මෙම කටයුත්තට ජවිපෙත් ගාවා ගන්න ඔවුන් උත්සාහ කළා. සභා කටයුතු කාරක සභාවේදී ආපු අදහස වුණේ, සැප පුටුවක් ගත යුතු බවයි. ඒ වගේම එම පුටුව පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර අසුනට සමාන විය යුතු බවත් ඔවුන් පැවසුවා. නමුත් මම කියා සිටියේ පාර්ලිමේන්තුවට මන්තී‍්‍ර අසුන් ලැබී තිබෙන්නේ පරිත්‍යාගයක් ලෙස බවත් එය ඉතා මිල අධික එකක් නොවන බවත්. එවැනි අසුනක් අවශ්‍ය නම් එය අපේ රටේ නිෂ්පාදකයෙකු ළවා සාමාන්‍ය මුදලකට (රු. 60,000ක් පමණ) නිෂ්පාදනය කරගත හැකි බවත් මම පැවසුවා. නමුත් අනෙක් අයගේ මතය වුණේ පාර්ලිමේන්තු අසුන හා සමාන එකක් ගෙන්විය යුතු බවයි. ඔවුන් එය දේව වාක්‍යයක් ලෙස ප‍්‍රකාශ කරමින් සිටියා. ඒ අනුව තමයි ඔවුන් මේ පුටුව ගේන්න තීරණය කරන්නේ. ආණ්ඩුකාරවරයා කියනවා මෙම ටෙන්ඩරයට පෙර සාම්පල් පුටුවක් ගෙනත් නැහැ කියලා. නමුත් ප‍්‍රධාන ඇමතිවරයා කියනවා ගෙනාවා කියලා. ඇත්තම කාරණාව සාම්පල් පුටුුවක් නොතිබීමයි. මහ ඇමතිවරයාගේ ප‍්‍රධාන අරමුණ වුනේ ටෙන්ඩරයෙන් කොමිස් කුට්ටියක් ලබා ගැනීමයි. මෙම සිදුවීම් හෙළිදරව් නොවුණා නම් මේවන විටත් පුටුව ගෙන්වලා කොමිස් එකත් අරගෙන. දූෂණයේ ස්වභාවය ඒක තමයි.

පුටු සිදුවීමට අමතරව පළාත් සභා ගොඩනැගිල්ලට අදාලව සිදුවීම් ගණනාවක් තිබෙනවා. අපි ඒ පිළිබඳව පළාත් සභාවේදී ප‍්‍රශ්න කළා. ශබ්ද විකාශන යන්ත‍්‍ර සහ කැමරා පද්ධතිය පිළිබඳ ටෙන්ඩරය ප‍්‍රශ්නගත එකක්. එහිදී මිලියන 72 ටෙන්ඩරයක් තිබියදී ටෙන්ඩරය ලබාදී තිබෙන්නේ මිලියන 109කටයි. මිලියන 37ක වංචාවක් සිදුවෙලා තිබෙනවා. තමන්ට ඕනෑ සමාගමට ටෙන්ඩරය ලබාදීමට ටෙන්ඩර් පටිපාටියට පිටින් ගිහිල්ලා වැඩ කරනවා. තාක්‍ෂණික ගැටළු පදනම් කරගෙන මිල අඩු ටෙන්ඩරය ප‍්‍රතික්‍ෂේප කරලා කොමිස් කුට්ටිය වැඩි සමාගමට ටෙන්ඩරය ලබා දෙනවා. මේ අයට වැදගත් වෙන්නේ කොමිස් කුට්ටියයි. ජනතා මුදල් නිසා අධික මුදලක් වැය වුණාට ඔවුන්ට ප‍්‍රශ්නයක් නැහැ. ඒ වගේම සභා ශාලාවට ඇතුළු වන දොරටුවත් විශාල මුදලක් වැය කරලා තනා තිබෙන බව අපිට ආරංචියි. අපි එය පිළිබඳව ප‍්‍රධාන ඇමතිවරයාගෙන් ප‍්‍රශ්න කළා. නමුත් ඔහු උත්තර නොදී මග හැරියා. නිළ නොවන ආරංචි අනුව මෙම දොර සඳහා රු. කෝටි එකහමාරක් පමණ වෙනවා. ප‍්‍රශ්නයක් තිබෙන නිසා තමයි මහඇමතිවරයා පිළිතුරු දීම මගහැරියේ.

පළාත් සභා ගොඩනැගිල්ලේ මුළු වියදම ගැන අපි ප‍්‍රශ්න කළා. ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 7029යි. මේ වනවිට රු. මිලියන 5854ක් වැයවෙලා තිබෙනවා. තව ඉතිරිවී තිබෙන්නේ මිලියන 1200කට ආසන්න මුදලක්. නමුත් ප‍්‍රශ්නය තිබෙන්නේ ගොඩනැගිල්ලේ පිට පොත්ත ලස්සනට පෙනුණාට ඇතුළේ මදය නැති වීමයි. අත්‍යාවශ්‍ය කිසිවක් සම්පූර්ණ කර නැහැ. ගොඩනැගිලි කළමනාකරණය, රථ-වාහන කළමණාකරණය, ඕඩියෝ සිස්ටම්, සභා ගර්භයේ ආසන, කමිටු කාමර සඳහා දැව උපකරණ, වී.අයි.පී. ආපන ශාලා, කාර්යමණ්ඩලවලට අවශ්‍ය කාර්යාල උපකරණ, ඔරලෝසු පද්ධති මේ කිසිවක් සම්පූර්ණකර නැහැ. එතරම් මිලියන ගණනක මුදලක් වැය කරලා ගොඩනැගිල්ලක් හැදුවාට ඇතුළේ මදයක් නැහැ. ඒ වගේම මේ වනවිට ඇතැම් ස්ථානවල ඉඳගන්න පුටුවක් නැහැ. සභා ලේකම් කාර්යාලය වැනි පළාත් සභා බිල්ඩිමට අයත් කාර්යාල තවමත් මෙම ගොඩනැගිල්ලට ගෙනල්ලා නැහැ.

ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ නීති විරෝධී ධූරධාරීන් ඉන්නවා. පළාත් සභා පනතට අනුව සිටිය යුතු ධූරධාරීන්ට අමතරව පිටින් ගිහිල්ලා සභා නායක, ආණ්ඩු පක්‍ෂයේ සංවිධායක, විපක්‍ෂ නායක විපක්‍ෂයේ සංවිධායක කියලා ධූර හතරක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මහජන මුදල් වියදම් කරලා පවත්වාගෙන යනවා. ඔවුන්ට මන්තී‍්‍රවරුන්ට ලැබෙන නීත්‍යානුකූල දීමනාවලට අමතරව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වාහන, කාර්යාල කාමර, පවත්වාගෙන යනවා. මේ සම්බන්ධයෙන් අපි විගණනයක් කරන ලෙස විගණකාධිපතිවරයාට ලිඛිත පැමිණිල්ලක් බාරදී තිබෙනවා. ඒ වගේම මේ වනවිට බස්නාහිර පළාත් සභා සංචාරක මණ්ඩලයේ කටයුත්තක් සඳහා යැයි කියමින් වග, වැලිපැන්න පිහිටි ඉඩමක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන තිබෙනවා. ඒ සඳහා කමිටුවක් පත්කර ජවිපෙ මන්තී‍්‍රවරයෙකුත් සහභාගී කරවන ලෙස අපිට දැනුම්දීලා තිබෙනවා. අපි ඒකට පිළිතුරු ලිපියක් ලියමින් කිව්වා, පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය ගන්නා තීන්දුවලට මැදිහත් වීමට ව්‍යූහයක් නැති බවත් උපදේශක කාරක සභාවේදී ඒ සඳහා අපගේ අදහස ඉදිරිපත් කිරීමට හැකි නිසා එම කමිටුවට ජවිපෙ නියෝජිතයෙක් සම්බන්ධ නොකරන බවත් අපි කියා සිටියා. ඒ වගේම පළාත් සභාවේ මිලදීම් ගැනීම සම්බන්ධව වගකිව යුත්තේ අමාත්‍ය මණ්ඩලයත් නිලධාරී තන්ත‍්‍රයත් නිසා එම කටයුතු පිළිබඳව අපි විමසිල්ලෙන් සිටින බවත් කිව්වා. ඒ වගේම එම මිලදී ගැනීමට යන ඉඩම ගැන අපි සෙවිල්ලෙන් ඉන්නවා. පළාත් සභාවට තිබෙන්නේ මාස 7ක පමණ කාලයක්. මේ කරන්න හදන්නේ මාස 07 ඇතුළත පළාත් සභාවේ සල්ලි ටික වියදම් කරලා තමන්ගේ ඊළඟ මැතිවරණය සඳහා මුදල් ගසා කන්නයි. අපි මෙම මිලදී ගැනීම් පිළිබඳව ඉතා සෙවිල්ලෙන් ඉන්නවා. ආණ්ඩු පක්‍ෂයේ අය අපිට කිව්වා මේ යන විදිහට උත්සවයට ගෙනාපු කිරිබත් කෑලි ගැනත් හොයයි කියලා. ඔව්, අපි ඒව ගැනත් හොයනවා, අසාමාන්‍ය මුදලක් වැය කරලා තියෙනවා නම්. මේ යන විදිහට කිරිබත් කෑල්ලකටත් රු. 1,000කට වැඩි මුදලක් වියදම් කර තිබෙනවා කියලයි අපිට හිතෙන්නේ.

මේවා ගැන ප‍්‍රධාන ඇමතිවරයා කතා කරනකොට කියන්නේ බස්නාහිර පළාත් සභාව සල්ලි තියෙන පෝසත් සභාවක් කියලයි. පළාත් සභාවේ සල්ලි ඉතිරිවෙලා තියෙන්නේ කොහොමද කියලා අපි හොයලා බැලූවා. පළාත් සභාවට මුද්දට සල්ලි කියලා මුදලක් ලැබෙනවා. එම මුදල්වල අයිතිය තිබෙන්නේ ප‍්‍රාදේශීය සභාවලට සහ නගර සභාවලටයි. ගමේ පාර හදන්න, පාලම් බෝක්කු ටික හදන්න සල්ලි වෙන් වෙන්නේ මෙම මුද්දර සල්ලිවලින්. නමුත් බස්නාහිර පළාත් සභාව වසර කිහිපයක් මෙම මුදල් ප‍්‍රාදේශීය සභාවලට, නගර සභාවලට නොදී ඔවුන් රස්තියාදු කර ගෙවීම් ප‍්‍රමාද කර තිබෙනවා. එම ඉතිරිවූ මුදල් ස්ථාවර ගිණුමක දාලා, ඒ මගින් ලැබෙන ආදායම තමයි මේ විදිහට නාස්ති කරන්නේ.

අපි විගණකාධිපතිවරයාගෙන් ඉල්ලනවා බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලේ වියදම් පිළිබඳව සම්පූර්ණ විගණනයක් කරන්න කියලා. ඒ සඳහා විශේෂ විගණන නිලධාරීන් පිරිසක් අලූතින් පත් කරන්න කියලත් කියනවා. මොකද, දැන් පළාත් සභාව පිළිබඳව විගණනයන් සිදුකරන නිලධාරීන් පළාත් සභාවේ නිලධාරීන් සමඟ යම් යම් හිතවත්කම් තිබෙන නිසා එම විගණනය හරියට කෙරෙන්නේ නැති බව අපිට විශ්වාසයක් තිබෙනවා. අපිට දැන් ශක්තිමත් ජාතික විගණන පනතක් තිබෙනවා. මහජනතාවගේ විධිමත් දැනුම් දීමකින් පස්සේ විගණන කටයුතු ආරම්භ කරන්න පුළුවන්.

පුටු සිදුවීමෙන් පසුව මෙම දූෂිත ගනුදෙනුවලින් ගැලවිලා යන්න ඉඩ තියන්න හොඳ නැහැ. ඒ නිසා සම්පූර්ණ විගණනයක් කරන්න කියලා අපි විගණකාධිපතිවරයාගෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි, පළාත් සභාව හරහා සිදුවුණු කොන්ත‍්‍රාත්, ගිවිසුම් සියල්ල පිළිබඳව පරීක්‍ෂණයක් කරන්න කියලා විගණකාධිපතිවරයාගෙන් ඉල්ලනවා. පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ නිසා ඔහුට මහ ඇමතිවරයාගේ බලපෑම්වලට යට නොවී වැඩ කිරීමේ හැකියාව තිබෙනවා. පළාත් සභා පනතට එරෙහිව ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩ කරන්න කියනවා නම් ඒක ප‍්‍රතික්‍ෂේප කිරීමේ හැකියාව පළාත් ලේකම්වරයාට තිබෙනවා. මීට පෙර හිටපු දයා සෙනරත් ලේකම්වරයා බලපෑම්වලට යට නොවී කෙලින් වැඩ කළා. ඒ නිසා ඔහු පළාත් සභාවෙන් මාරු කළා. දැන් ඉන්න ලේකම්වරයා පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ගෙන්වා ගත්තු ලේකම් කෙනෙක්. අපි ඔහුට කියනවා, වැරදි ගනුදෙනුවලින් වැළකිලා ස්වාධීනත්වය ආරක්‍ෂා කරගන්න කියලා.

එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් නීතිඥ සුනිල් වටගල,

පළාත් සභාවට ගෙන්වීමට නියමිතව තිබූ පුටුව රු. හයලක්ෂ පනස්දාහක් කියලයි අපිට වාර්තා වුණේ. නමුත් ඉසුර දේවපි‍්‍රය ප‍්‍රධාන ඇමතිවරයා කිව්වේ ජේ.වී.පී. එක කියන්නේ බොරු, පුටුවේ මිල හයලක්‍ෂ හතලින් ගණනක් කියලා. නමුත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ පුටුවක මිල අට ලක්‍ෂ ගණනක් වෙනවා කියලා. දැන් මිල ගණන් තුනක් ගැන සඳහන් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් අවශ්‍යයි. නමුත් ගැටලූව වී තිබෙන්නේ මෙම විමර්ශනවලදී සිදුවෙන්නේ දේශපාලන අධිකාරිය ඉවත්වෙලා නිලධාරී තන්ත‍්‍රය හසු වීමයි. බැඳුම්කර සිදුවීමේදී වුනේ මේ දේමයි. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා, රවී කරුණානායකත් පරීක්‍ෂණවලින් එළියේ ඉද්දී ඊට සම්බන්ධ නිළධාරීන් තමයි දැන් නඩු කටයුතුවලට එන්නේ.

ජවිපෙ හය දෙනාත් තවත් මන්තීවරුන් දෙදෙනෙක් හැර පොහොට්ටුවේත්, එජාපයේත්, ශී‍්‍රලනිපයේත් මන්තී‍්‍රවරු සියලූ දෙනා මෙම පුටු ගෙන්වීමට කැමති වුණා. ඔවුන් ජවිපෙ මන්තී‍්‍රවරුන්ට කිව්වේ පළාත් සභාවට දාන ලයිට් එකේ මිල ගැනත් හොයනවද කියලා. ජනතා විමුක්ති පෙරමුණේ අපිට දොරේ සද්දෙයි, බෙරේ සද්දෙයි හඳුනා ගන්න පුළුවන්. අපි ආවට ගියාට කරුණු කියන්නේ නැහැ. ඉතාම හොඳින් හොයලා බලලා තමයි අපි කරුණු ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි විගණකාධිපතිවරයාට කියනවා මේ පිළිබඳව විගණන විමසුමකට යන්න කියලා. එවිට එම කරුණු පදනම් කරගෙන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණයක් සිදුවී තිබෙන බැවින් අපි අල්ලස් හා දූෂණ කොමිසමට තොරතුරු සහිතව පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. නිලධාරී තන්ත‍්‍රය පමණක් නොව දේශපාලන තන්ත‍්‍රයත් මීට වගකිව යුතුයි. මොකද, මෙම දූෂණයට තීරණ ගැනීමේ දේශපාලන අධිකාරිය හිතාමතා දායක වෙලා තිබෙනවා. උත්සවයට ගෙනාපු කිරිබත් කෑල්ලේ මිල අසාමාන්‍යයි නම් අපි ඒකත් ප‍්‍රශ්න කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්න සූදානම්. පළාත් සභා පනතට පිටින් ගිහිල්ලා තනතුරුවලට ජනතා මුදල් වැයකරන එක සම්බන්ධයෙන්ද අපි අවධානයෙන් ඉන්නවා. අපි මේ පිළිබඳව ප‍්‍රශ්න කොට තිබෙනාව. එම ප‍්‍රශ්නවලට ලැබෙන පිළිතුරුවලින් රටට දැනගන්න පුළුවන් මේ අය නීති විරෝධී විදිහට කොපමණ මුදලක් අයකර ගන්නවාද කියලා.

මෙම අවස්ථාවට ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර නන්දන පද්මකුමාර සහෝදරයාද සහභාගි විය.

The post බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලේ මදය නැහැ – ජවිපෙ කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();