Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවුරුදු 70ක් අපිව මංකොල්ල කාපු අයටම ආපහු රට භාරදෙනවාද? – නීතිඥ හර්ෂණ නානායක්කාර.

Atorney_at_Law_Harshana_Nanayakkara

අවුරුදු 70ක් අපිව මංකොල්ල කාපු අයටම ආපහු රට භාරදෙනවාද කියල කල්පනා කරල බලන ලෙසත් අවංක, විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැඟීමට යෝජනා කරන බවත් නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ ජාතික විද්වත් සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ හර්ෂණ නානායක්කාර,

අද අපේ රට පත්ව තිබෙන භයානක තත්වය නිවැරදි ලෙස ජනතාවට පැහැදිළි කිරීමේ මූලික වගකීම මාධ්‍යයට පැවරී තිබෙනවා. අද අපේ සමාජයේ හෘදසාක්ෂිය හිරිවට්ටලා තියෙන්නේ. සිදුවන අපරාධ දැකල දැකල පත්තියන් වෙලා. මේවා නොපෙනෙන තත්වයට සමහරුන්ගේ මනස සකස් වෙලා. ”කොයි ආණ්ඩුව ආවත් එකයි, හොරකම නවත්වන්න බෑ.” කියන දේ නිතර කනට ඇහෙනවා. නමුත් සුද්දා අපේ රට බාරදීල යනකොට භාණ්ඩාගාරයේ පවුම් කෝටි 5ක රත්තරන් අතිරික්තයක් තිබුණා. අපේ රට සූරාකාපු සුද්දත් ඉතුරුකරපු දේවල් වසර 70ක් යනකොට ඉතිරි කරලා නැහැ. ඒ පමණක් නොවෙයි අද උපදින දරුවා පවා ලක්ෂ 5ක ණයකාරයෙක් කරලා. මන්දපොෂණය වේගයෙන් පැතිරී යනවා. සමාජයක් විදිහට මේ වගේ බොහෝ පැතිවලින් ඛේදවාචකයන් පවතිද්දී 2020 වන විට අපිට තීරණාත්මක අවසන් අවස්ථාවක් ලැබෙන බවයි මම නම් හිතන්නේ. පවතින අර්බුදවලින් ගැලවෙන්න අවසන් අවස්ථාව ඒක. රජයේ ආදායම දැනටත් ප‍්‍රමාණවත් වෙන්නේ ණය පොළී සහ ණය වාරික ගෙවන්න විතරයි. අපේ රටේ කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. සිංහල බෙහෙත් බඩු කඩයකට ගිිහින් බැලූවත් වැඩිම දේවල් පිටරටින් ගෙනාපු ඒවා. අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සියල්ලමත් විදේශයන්ගෙන් ගෙන්වනවා. රුපියල් කෝටි තුන්දහස් ගණනක කරවල, උම්බලකඩ, ගිය අවුරුද්දේ ගෙනත් තියෙනවා.

අපේ රටේ රුපියල වැටීම, ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම නිසාත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් වේගයෙන් වැඩිවෙනවා. රටේ දුප්පත්කම වැඩිවෙනවා. අපරාධ රැල්ලක් ඇතිවී තිබෙනවා. බඩගින්නේ ඉන්න මනුස්සයෙක් හොරකම් කරන්න පෙළඹෙනවා කියන එක පුදුමයක් නොවෙයි. නීතියෙන් වැරදිකාරයෙක් වුණත් ඒ දේ කරනවා. අපේ රටේ මේ තරම් වාහන අනතුරු වැඩි ඇයි? රියදුරන්ගේ ඔළුවේ නිතරම වැඩ කරන්නේත් ජීවනබර දරාගැනීමේ ඉලක්ක. ආර්ථිකය විනාශ වෙන්න වෙන්න, මානසික සුවය බිඳ වැටෙනවා. ඩෙන්මාර්කයේ, ස්වීඩන් වගේ රටක සෞඛ්‍ය පහසුකම් සියලූම දෙනාට නොමිලේ. උපාධිය දක්වා නිදහස් අධ්‍යාපනය.? 12ටත් සුළු ගාස්තුවලට මගී ප‍්‍රවාහණ පහසුකම් තිබෙනවා. ලෝකයේ සතුටින්ම ඉන්න රට ඩෙන්මාර්කය වුනේ මේ හේතු නිසා. අද අපේ රටේ ඉස්කෝල තිබුණත් ටියුෂන්වලට විශාල වශයෙන් ගෙවන්න ඕනෑ. බස්වල යන්නේ හරකුන්ටත් වඩා අන්තවිදිහට පටවලා.

මේව නොදැක අන්ධයෝ වගේ ඉන්න බැරිහින්දා ජාතික විද්වත් සංවිධානය හැටියට අපි එකතු වෙලා කරුණු ඇති හැටියෙන් ජනතාවට කියනවා. හැබැයි කියල විතරක් මදි. ප‍්‍රශ්නවලට විසඳුම් තියෙන්න ඕනෑ. ශී‍්‍ර ලංකන් සමාගම වගේ රජයේ විශාල ආයතන සාමාන්‍ය පෙළවත් සමත් නැති අයට බාරදීලා ඒ පාඩුව පටවලා තියෙන්නෙත් අපට. සමහරු හිතන්නේ බැඳුම්කරයෙ පාඩුව අපිට වැඩක් නැහැ කියලා. නමුත් ඒක ආපහු පැටවෙන්නේ ජනතාවගේ අත්‍යාවශ්‍ය බඩු මත. බදු ගෙව්වත් ජීවිත හොඳ මට්ටමක තිබෙනවා නම්, කමක් නැහැ. නමුත් එහෙම නැහැ. අද අවශ්‍යතාවය වන්නේ වංචනිකයන්, දූෂිතයන් නොවන අය, දේශපාලන නායකත්වයට පත් කිරීමයි. දුෂණය-වංචාව තියෙනවා නම් රටක් නොවෙයි තේ කඩයක්වත් ගෙනියන්න බැහැ. ප‍්‍රධාන පක්ෂ 3 දිහා බලලා වංචාවෙන් දූෂණයෙන් තොර අය කීදෙනෙක් ඉන්නවාද කියලා ඔබ තීරණය කරන්න. අවුරුදු 70ක් අපිව මංකොල්ල කාපු අයටම ආපහු රට භාරදෙනවාද කියල කල්පනා කරල බලන්න. අපි යෝජනා කරන්නේ අවංක, විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැඟීමටයි. ඔවුන්ට බලය ලබාදීම සඳහා වෘත්තියවේදීන් සහ විශ‍්‍රාමික පරිපාලන නිලධාරීන් පෙළගැසී සිටිනවා. 2020 අවසන් අවස්ථාව බව අපි කියන්නේ පවතින ඛේදවාචකයන් ගැන හොඳින් සලකලා බලලයි. කරුණාකරලා මේ වැදගත් පණිවුඩය ජනතාව අතරට ගෙනියන්න කියලා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපිට මේ තත්වය වෙනස් කරන්න පුළුවන් කියලා අධිෂ්ඨානය ඇතිකර ගන්න යැයි පැවසීය.

The post අවුරුදු 70ක් අපිව මංකොල්ල කාපු අයටම ආපහු රට භාරදෙනවාද? – නීතිඥ හර්ෂණ නානායක්කාර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();