නිරෝෂාන් ප්රියංකර ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට...
ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකාව නියෝජනය කරමින් මීටර් 800 කාන්තා ඉසව්වට එක්වූ ගයන්තිකා අබේරත්න සහ එම ඉසව්වේ පිරිමි තරගයට එක්වූ ඉඳුනිල් හේරත් අවසන් තරග සඳහා සුදුසුකම් ලබාගැනීමට ඊයේ සමත් වූහ.
පස්වරුවේ පැවැති මීටර් 800 පිරිමි මූලික වටයේ පළමු තරගයට එක්වූ ඉඳුනිල් හේරත් විනාඩි 1:47.54කින් තරගය අවසන් කරමින් 3වැනි ස්ථානයට පත්විය. එම තරගයෙන්ද පළමු දෙදෙනා අවසන් තරගයට එක්වූ අතර ඉඳුනිල් වාර්තා කළ කාලය අනුව ඔහුට ද අවසන් තරගයට එක්වීමේ අවස්ථාව හිමිවිය. ක්රීඩකයන් 24 දෙනකු එක්වූ සමස්ත තරගයේ කාලය අනුව ඔහුට හිමිවූයේ 3වැනි ස්ථානයයි.
මේ අතර මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ අවසන් තරගයෙන් නිලානි රත්නායක ඊයේ තරග බිමට පිවිසි අතර ඇය තරග නිමා කිරීමට විනාඩි 9:54.65 කාලයක් ගත කළේය. මේ සමගින් ක්රීඩිකාවන් 14 දෙනකු අතරින් ඇය 6 වැනි ස්ථානයට පත්වූවාය.
එහි රන් පදක්කම විනාඩි 9:36.52කින් තරගය නිමකළ බහරේනයේ වින්ෆර්ඩ් යාවි දිනාගත් අතර රිදී පදක්කම ඉන්දියාවේ සුධා සිංටත් (වි.9:40.03), ලෝකඩ පදක්කම වියට්නාමයේ තී නගුයෙන් (වි.9:43.83) හිමිවිය.
ශ්රී ලංකාව නියෝජනය කරමින් රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වට එක්වූ එකම ක්රීඩිකාව වන ඇනා මේරි ඔන්ඩාච් ඊයේ එක්වූ සිය පළමු තරගයෙන් 24වැනි ස්ථානයට පත්වූවාය. සමස්ත තරගයේදී ලකුණු 35600ක් හිමිකරගත් ඇය අද පැවැත්වෙන අවසන් තරගයට සුදුසකම් ලැබීය.
ග්ලොරා බන් කර්නෝ ක්රීඩාංගණයේ පැවැත්වෙන මීටර් 800 ඉසව්වේ කාන්තා තරගය් අද (28) ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 6.00ට පැවැත්වෙන අතර පිරිමි අවසන් තරගය පස්වරු 6.10ට පැවැත්වීමට නියමිතය.
මීටර් 800 කාන්තා ඉසව්වේ මූලික වටයේ තෙවැනි තරගයට එක්වූ ගයන්තිකා විනාඩි 2:06.31කින් තරගය නිම කරමින් තෙවැනි බවට පත්විය. මේ තරගයේ මූලික වටයේ පළමු තරගයට එක්වූ නිමාලි ලියනාරච්චි සිවුවැනියා බවට පත්වූයේ විනාඩි 2:06.74 කාලයක් වාර්තා කරමිනි.
මූලික තරගය වට 3කින් පැවැති අතර එම තරගවල පළමු දෙදෙනා කෙළින්ම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී තරගය නිමාකළ කාලය සැලකිල්ලට නොගත් අතර මුල් ස්ථාන 2කට අවස්ථාව හිමි නොවුණි. ඒ අනුව ක්රීඩිකාවන් 6ක් සෘජුවම අවසන් තරගයට එක්වූ අතර ඉතිරි දෙදෙනා එම වටවලදී හොඳම තෙවැනි කාලය අනුව තෝරා ගැනිණි. ඒ අනුව ගයන්තිකාට සහ කසකස්තාන ක්රීඩිකාවට අවසන් තරගයට එක්වීමට හැකිවිය.
මේ තරගයේ සමස්ත කාලය අනුව නිමාලි 7වැනි ස්ථානයට පත්වුවද මූලික වටයේ සිවුවැනියා බවට පත්වීම හේතුවෙන් අවසන් තරගයට එක්වීමට අවස්ථාවක් නොලැබිණි.
තරගයෙන් අනතුරුව ගයන්තිකා කියා සිටියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම ගැන සතුටට පත්වුවත් මේ ඇයගේ හොඳම කාලය මෙය නොවන බැවින් හෙට තරගයේදී හොඳම කාලය වාර්තා කිරීම අරමුණ බවයි.
‘මේ මගේ දෙවැනි අවස්ථාව 2014 මම අවසන් තරගයට ගිහින් 7 වැනියා වුණා. මේ පාරත් මම අවසන් තරගයට ගියා. ඒකට මට ගොඩක් සතුටුයි. හෙට (අද) මීට වැඩිය තරගයක් දෙන්න තමයි බලාපොරොත්තුව. මම වාර්තා කළේ මගේ හොඳම කාලය නෙවෙයි. මම 2:2ක් දුවලා තියෙනවා. මට ඉදිරියෙන් ඉන්න අයගේ වේලාවට ආසන්නවම මම දුවලා තියෙනවා. මගේ එකම බලාපොරොත්තුව මගේ හොඳම කාලය වාර්තා කරන්න.’ යැයි ගයන්තිකා ‘දිනමිණ.’ට පැවැසුවාය.
මෙතෙක් ශ්රී ලංකාවට කිසිදු පදක්කමක් හිමිවී නැති අතර ගයන්තිකා පැවැසුවේ ශ්රී ලංකාවට පළමු පදක්කම හිමිකරදීම තම අධිෂ්ඨානය බවයි.
මෙය තමාගේ හොඳම කාලය නොවන බවත් අවසන් තරගයට එක්වීමට නොහැකිවීම කනගාටුවට කරුණක් බවත් නිමාලි ලියනාරච්චි තරගයෙන් අනතුරුව පැවැසුවාය.
‘හොඳම කාලයක් කියන්න බැහැ 2:6ක්. මම ලංකාවේ 2:4ක් දුවලා ආවේ. මට ඒ ගැන කනගාටුයි. මගේ හීට් එක තමයි වේගවත්ම හීට් එක. එකට වැටුණේ වේගවත්ම තුන්දෙනා. මීට වැඩිම හොඳ වේලාවක් දුවන්න බලාපොරොත්තුවෙන් ආවේ. දෙවැනි හීට් එකෙන් අවසන් තරගයට ගිය චීන හා වියට්නාම ක්රීඩිකාවන් දෙන්නම ඉන්නේ මට පස්සෙන්. අවසන් තරගයට එක්වෙන්න බැරිවීම අවාසනාව තමයි. එ් ගැන කනගාටුයි’ නිමාලි කියා සිටියේය.
2020 ඔලිම්පික් ක්රීඩා උළෙල තම ප්රධාන බලාපොරොත්තුව බව කී නිමාලි තමාගේ පුහුණුකරු මේ තරගාවලියට එක් නොවීම කනගාටුවක් බවත්, ඔහු මේ අවස්ථාවේ සිටියා නම් මීට වඩා දෙයක් කළ හැකිවනු ඇති බවත් කියා සිටියේය.
මීටර් 200 ඉසව්වේ මූලික වටයේ තරගයට රුමේෂිකා රත්නායක අද පෙරවරුවේ එක්වෙයි. තරගය පිළිබඳ අදහස් දක්වමින් ඇය පැවැසුවේ පුද්ගලික හොඳම කාලය වාර්තා කරමින් රටට පදක්කම් දිනා දීම තම ඉලක්කය බවයි.
‘මේ මගේ පළමු ආසියානු ක්රීඩා තරගාවලිය. හොඳට පුහුණුවිම් කළා. මේ මීට් එකට කිසිම බයක් නැහැ. මම මගේ හොඳම කාලය වාර්තා කරලා රටට පදක්කමක් ගෙන එක තමයි බලාපොරොත්තුව. මම 2017 ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී මගේ හොඳම කාලය වාර්තා කළා 23.40 එකක්. මේ තරගාවලියේදී ඊට වඩා අඩුවෙන් කොහොම හරි දුවන්න බලාපොරොත්තු වෙනවා.’ යැයි පැවැසු රුමේෂිකා තමා මීටර් 100 ඉසව්වෙන් හොඳම තත්ත්වයක සිටියදී මේ තරගාවලියේදී මීටර් 100 ඉසව්වට එක්කර නොතිබීම තමාට ලොකු අවාසියක් වූ බවත් එම තරගයට එක්වූයෙන් මේ තරගයට හොඳ අත්දැකීමක් ලබාගත හැකි බවත් ඇය පැවැසීය.
ඊයේ කරාටේ ඉසව්වේ 16 දෙනාගේ වටයෙන් කිලෝග්රෑම් 84 බර පන්තියන් තරග වැදුණු කවිඳු ලක්සිත ජයකොඩි චීනයේ මා සෙයුන් හමුවේ ලකුණු 2-0කින් පරාජයට පත්වූ අතර කිලෝග්රෑම් 50 බර පන්තියේ කාන්තා ඉසව්වෙන් තරග වැදුණු දිනුෂා කුමාරි සත්කාරක ඉන්දුනීසියාව සෘනීතා සරී හමුවේ ලකුණු 8-0කින් පරාජයට පත්වූවාය. මේ සමගින් ශ්රී ලංකා පිල සහභාගීවන කරාටේ ඉසව් නිමාවට පත්විය.
මේ අතර බොක්සිං ඉසව්වෙන් පොදු රාජ්ය මණ්ඩලයීය පදක්කම්ලාභී අනුෂා කොඩිතුවක්කු කිලොග්රෑම් 51 බර පන්තිය යටතේ පෙරේදා පැවැති මූලික වටයෙන් තරගයෙන් ජපානයේ මඩෝකා වඩා හමුවේ 4-1කින් පරාජයට පත්වූවාය.
ගොල්ෆ් ඉසව්වේ කණ්ඩායම් තරගවලින් ශ්රී ලංකාවට 12 වැනි ස්ථානය හිමිවූ අතර කේවල තරගවලින්
සිසිර කුමාර 18, සචින් ද සිල්වා 27 සහ ජෝශප් ද සොයිසා 45වැනි ස්ථානවලට පත්වූහ.
තරගාවලියේ 9 වැනි දිනය වනවිටත් චීනය පදක්කම් සටනේ පෙරමුණේ පසුවන අතර දෙවැනි ස්ථානය ජපානයටත්, තෙවැනි ස්ථානය කොරියාවටත් ඉරානය සහ සත්කාරක ඉන්දුනීසියාව පිළිවෙළින් සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙයි. රටවල් 45ක් එක්වන තරගාලියේ 8 වැනි දිනයේ රටවල් 34ක් කුමන හෝ පදක්කම් දිනා තිබූ අතර ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ඇෆ්ගනිස්තානයද ඊට ඇතුළත් විය. ඒ අනුව ශ්රී ලංකාව සමගින් රටවල් 10ක් තවමත් කිසිදු පදක්කම් දිනා නැත.
0 Comments