වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම අලුතින් ආදායම්බදු ලිපිගොනුවක් ආරම්භ කළ යුතු යැයි නව දේශීය ආදායම් පනතේ කිසිදු තැනක සඳහන් වී නැතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කෙළේ ය.
විදේශගත ශ්‍රමිකයින්ගෙන් ආදායම් මත බදු අයකරන බවටත්, විශ්‍රාමික ජනතාවගේත් බදු ලබා ගන්නට රජය කටයුතු කරන බවටත් ඇතැම් මාධ්‍ය නව පනත ගැන අමූලික බොරු ප්‍රචාර ගෙන යන බවද මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා කීය.
නව බදු පනත ගැන රටේ පැතිර යන දුර්මත දුරු කිරීමට ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා පෙරේදා (02) සවස කොළඹ, කොටුව මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍යහමුවේදී ඇමැතිවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගකිවයුතු සංවිධානයක්. ඔවුන් අපට නව බදු පනත බලෙන් පැටැවුවේ නැහැ. ඔවුන් කියන පදයට අපි නටන්න සූදානම් නැහැ. ඒවාගේම ඒ අයගේ කොන්දේසිවලට යටත්ව රටේ පොදු ජනතාවගෙන් වැඩි බදු අයකරන්න අපි කටයුතු කරන්නේත් නැතැයිද මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.
නව බදු පනත ජාත්‍යන්තර මුල්යඅරමුදලේ උවමනාවට ගෙනැවිත්, ඔවුන් සතුටු කිරීමට විවිධ වෙනස්කම් කළ බව ඇතැමෙකු නඟන චෝදනාව සත්‍යදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මංගල සමරවීර මහතා මේ බව කීය.
වසර 2017 මැයි 22 වැනිදා මුදල් ඇමැති ධුරය භාරගත් තමා හා රාජ්‍ය ඇමැති ධුරය භාරගත් ඉරාන් වික්‍රමරත්න මහතා නව පනතේ අවාසිදායක කරුණු රාශියක් ඉවත් කළ බවද කීය. එම කරුණු ඉවත් කළේ ආණ්ඩුවේ, විපක්ෂයේ , ඒකාබද්ධ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ, බදු උපදේශකයින්ගේ අදහස්වලට සවන්දීමෙන් පසු බවද ඇමැතිවරයා කීය.
මුදල් ඇමැතිවරයා පසු පස ගොස් හෝ මුදල් ඇමැතිවරයාගේ හෙංචයියන්ට දොල පිදේනි ලබා දී හෝ බදු සහන ලබා ගැනීමට ආයෝජකයන්ට සිදු වූ යුගය නිමා කිරීමට නව බදු ක්‍රමය හඳුන්වා දුන් බව මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේ ය.
වඩාත් සමාජ සාධාරණ බදු ප්‍රතිපත්තියක් රටට හඳුන්වාදීම 2017 අංක 24 දරන ආදායම් බදු පනතින් සිදු වූ බවද මංගල සමරවීර මහතා කීය.
ඇති හැකි අයගෙන් අය කැරෙන ඍජු බදු වැඩිකර ගැනීමත්, නැති බැරි ජනතාවගෙන් අය කැරෙන වක්‍ර බදු ප්‍රමාණය අඩුකර ගැනීමත් ඉලක්ක කළ නව බදු ක්‍රමය අග්නිදිග ආසියාවේ රටවල් අතුරින් ක්‍රියාත්මක හොඳම බදු ක්‍රමය බවද මංගල සමරවීර මහතා මෙහිදී අවධාරණය කෙළේය.
සුපිරි යානවාහන, අතිසුඛෝපභෝගී ජීවිත ගත කරන ධනවත් පුද්ගලයාත්, එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නා දුප්පත් පුද්ගලයාත් පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීමේදී එකම බද්දක් ගෙවන බව පෙන්වා දුන් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා, මෙය වඩාත් සමාජ සාධාරණ බදු ප්‍රතිපත්තියක් නොවන බව අවධාරණය කෙළේ ය.
මේ විෂමතාව දුරු කිරීමට නම් ඇති හැකි අයගෙන් අය කරන ඍජු බදු ආදායම් ඉහළ නංවා, දුප්පත් ජනතාවට ගෙවන්නට වන වක්‍රබදු අඩු කිරීම කළ යුතු බව කී මංගල සමරවීර මහතා නව බදු පනතේ මුල්ම අරමුණ එය බව ද කීය.
බදු පරිපාලනයේ පවතින සංකීර්ණතා දුරු කිරීම, බදු පරිපාලනයේදී ගජ මිතුරන්ට බදු සහන, බදු නිවාඩු හිතු මනාපයට ලබාදීම වැළැක්වීම, නව පනත මඟින් සිදු වූ ප්‍රධානම සාධනීය වෙනස්කම් බවද ඇමැතිවරයා කීය.
ඍජු බදු ආදායම් ලැබීම් වැඩි රටවල් කිහිපයක් උදාහරණ ලෙස ගත් මංගල සමරවීර මහතා මැලේසියාවේ ඍජු බදු අය කිරීමේ ප්‍රතිශතය සියයට 72ක් බවද, අසල්වැසි ඉන්දියාවේ සියයට 54ක් බවද දකුණු කොරියාවේ එය සියයට 45ක් බවද පෙන්වා දුන්නේ ය.
අප කලාපයේ ම පිහිටි බංග්ලාදේශයේ ඍජු බදු ආදායම් ලැබීමේ ප්‍රතිශතය සියයට 32 කි. ඒ අනුව බැලූ කළ සියයට 18ක් තරම් වන ඍජු බදු අය කිරීමේ අඩු ප්‍රතිශතයක් අප රටේ පැවැතීම කනගාටුවට කරුණක් බව කී මංගල සමරවීර මහතා වසර 2020 දී මේ ප්‍රතිශතය අඩුම තරමේ සියයට 40ක මට්ටමට ගෙන ආ යුතු බව කීය. එසේ ඍජු බදු ආදායම් වැඩිකොට වක්‍රබදු ආදායම් ප්‍රතිශතය සියයට 60 මට්ටමට ගෙන ඒමටත්, ප්‍රධානම වක්‍ර බද්ද වන වැට් බද්ද ක්‍රමිකව අඩු කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා සඳහන් කෙළේ ය.
නව බදු ක්‍රමය ගැන රටේ ජනතාව නොමඟ යැවීමට විවිධ අය අමූලික බොරු ප්‍රචාර සිදු කරන බවද, ඒවාට ජනතාව රැවැටිය නොහැකි වන ලෙස සැබෑ තත්ත්වය පැහැදිලිව පෙන්වා දිය යුතු බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කෙළේ ය.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම්වලින් මාසිකව එක් අයකුට රුපියල් එක් ලක්ෂ විසිපන්දහසකට සමාන පොලී ආදායමක් ලැබේ නම් බදු අය කරන්නේ නැත. මේ තරම් විශාල මුදලක් මාසිකව පොළී ආදායම් ලෙස ලැබීමට නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු රුපියල් කෝටි 02ක මුදලක් තැන්පත්කොට තිබිය යුතුයි. අප රටේ රුපියල් කෝටි දෙකක් හෝ ඊට වැඩි මුදලක් හෝ තැන්පත් කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිටින්නේ කී දෙනෙක්දැයි මුදල් ඇමැතිවරයා මෙහිදී විමසා සිටියේ ය.
එමෙන්ම ප්‍රති අපනයනකරුවන්ට, විදේශගත ශ්‍රමිකයින්ට නව බදු පනත මඟින් විශාල සහන සලසා ඇතැයි ද ඇමැතිවරයා කීය.
නව බදු පනත අනුව වසර 18 ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු ලිපි ගොනුවක් පවත්වාගෙන යෑම අනිවාර්ය යැයි ප්‍රකාශ කිරීම බොරුවකි. අප රටේ ඉදිරි ආර්ථික හා සමාජ දියුණුව ඇති වන වටාපිටාවක මෙවැනි දියුණු බදු ක්‍රමයක් රටේ බිහිවනවා යැයි කීමට වැරදි අර්ථකතනයක් ලබාදීමක් ලෙස ඒ බොරු සමාජගත කර ඇතැයිද ඇමැතිවරයා පැවැසීය.
මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:- අපේ රටට එන ආයෝජකයින්ට වැඩිම බදු සහන ලබාදුන් පනත නව බදු පනතයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 03 වඩා වැඩි මුදලක් ආයෝජනය කරන ආයෝජකයින්ට ඒ ආයෝජන මුදල සොයා ගන්නා තුරුම බදු අය කරන්නේ නැහැ. ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට වැඩි ආයෝජන සඳහා සියයට 50ක බදු නිදහසක් ලබා දී තිබෙනවා.
අපි බදු නිදහස් කිරීම් ලබා දෙනවා වාගේම, වැඩි බදු ආදායමක් ලබාගෙන රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආර්ථික පහසුකම් දියුණු කරන්න විශාලමුදලක් වියදම් කරන බවද ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, මුදල් අමාත්‍යවරයාගේ උපදේශක මනෝ තිත්තවැල්ල, මුදල් අමාත්‍යාංශයේ බදු උපදේශිකා තනුජා පෙරේරා යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.
ඡායාරූපය සමන්ත වීරසිරි
0 Comments