පසුගිය වසරේ දී (2017) ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අයහපත් කාලගුණික තත්ත්ව හා වෙනත් හදිසි අනතුරු හේතුවෙන් මරණයට පත් වු ධීවරපවුල් 7ක සාමාජිකයන් 24 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 70ක වන්දි මුදල් ලබාදීම පසුගිය දා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
රාජ්‍ය රක්ෂණ භාර අරමුදල මගින් මෙම මුදල් පිරිනැමුණු අතර සෙලින්කෝ රැකවරණය ලබා ඇත්නම් ඔවුන්ට තවත් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා ගත හැකිය.
මෙහිදී අදහස් පළ කළ ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියේ ලෝකයේ තිබෙන අවදානම් සහගත රැකියාවලින් දෙවන ස්ථානය හිමි වන්නේ ධීවර කටයුතු සඳහා මුහුදු යාම බවයි. එවැනි අවදානම් සහගත රැකියාවක් කරමින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ධීවර ප්‍රජාව විසින් උපයා දෙනු ලබන බව කී ඇමැතිවරයා රජය ආරක්ෂිත ධීවර කර්මාන්තයක් තහවුරු කිරීම සඳහා මේ වනවිට පියවර රැසක් ගෙන ඇතැයි ද කීය.
ඒ යටතේ දිවි සයුර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සියලුම ලියාපදිංචි ධීවරයන් රක්ෂණාවරණයකට ලක් තිබෙන අතර පසුගිය වසරේ මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභීන් 132කට වන්දි ප්රදානය කිරීමට රජය පියවර ගත් බව ද ඇමැතිවරයා කීය.
වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා-වර්තමානය වනවිට ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයා ආරක්ෂා කර ගැනීම සඳහා අපි රජය වශයෙන් විශාල වැඩ කොටසක් කර තිබෙනවා. ඉන් එකක් තමයි මේ දිවිසයුර රක්ෂණ ක්‍රමය.
මේ රක්ෂණ ක්‍රමයට අමතරව අපි ධීවරප්රජාවගෙන් ඉල්ලා සිටින්නේ තවත් රක්ෂණ ක්‍රමයකට ඇතුළත්වෙන්න කියායි. අපි රජය වශයෙන් ජාතික රක්ෂණ භාරය මගින් ලබා දෙන ආවරණය ලබා දෙනවා. නමුත් තවත් රක්ෂණාවරණයක් ලබා ගතහොත් එහි විශාල වාසියක් තිබෙනවා.
කෙසේ වුවත් වර්තමානයේ ධීවර කර්මාන්තය රටේ අවදානයට යොමු වී තිබෙනවා. ඒක හොඳ තත්ත්වයක්. මෙම අංශයට විශාල පිරිසක් අද ඇදී එනවා. ධීවර කර්මාන්තය රටේ සංවර්ධනයට උර දෙන වෙනමම අංශයක් වශයෙන් සංවර්ධනය වෙමින් තිබීම අප වැනි රටකට විශාල වාසිදායක තත්ත්වයක්.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම කටයුතු සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට එහි අධ්යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ඡායාරූපය- මුහුදු ගොස් මරණයට පත් තම පියා වෙනුවෙන් පිරිනැමුණු රක්ෂණ වන්දි මුදලට අදාළ චෙක්පත ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා අතින් හික්කඩුව ඔෂින්කා පෙරේරා මහත්මිය ලබා ගත් අයුරු.
0 Comments