ශ්‍රී ලංකාව සහ ස්ලෝවැකියානු ජනරජය අතර වෙළෙඳ සහ ආයෝජන කටයුතු සබඳතා තවදුරටත් පුළුල් කිරීමට දෙරටේ රජයන් හි අවධානය යොමු වෙයි.
දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 27 දා මෙරටට පැමිණි ස්ලෝවැකියානු ජනරජයේ නියෝජ්‍ය අගමැති සහ මුදල් ඇමැති පීටර් කෂිමිර් මහතා සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවල දී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ස්ලෝවැකියානු ජනරජයේ ඉහළ පෙළේ නියෝජිතයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය බව පෙන්වාදෙන එම අමාත්‍යාංශය ඒ මහතා සමඟ එරට වෙළෙඳ නියෝජිතයන් 22 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට පැමිණි බවද ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි අංශ සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු කළ බවද කියා සිටී. ඉදිකිරීම්, ඉලෙක්ට්‍රොනික, බලශක්ති, පතල්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ආරක්ෂණ හා බැංකු සහ ජල විද්‍යාව හා සම්බන්ධ ක්ෂේත්‍ර නියෝජනය කළ ව්‍යාපාරිකයන් ඒ අතර වූහ.
ඉන්දියානු සාගර කලාපයේ වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් වශයෙන් වර්ධනය වෙමින් පවතින අවස්ථාවක ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉහළ නංවමින් වාණිජ, මූල්‍ය, සැපයුම් මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කළහැකි ආකාරය සම්බන්ධයෙන් ස්ලෝවැකියානු ජනරජයේ නියෝජ්‍ය අගමැති හා මුදල් ඇමැතිවරයා ඇතුළු නියෝජිත කණ්ඩායමේ අවධානය යොමු වූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ලෝකයේ රථවාහන නිෂ්පාදනයේ ඉදිරිපෙළ රටක් වන ස්ලෝවැකියාව තම රථවාහන නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාව ද දායකකර ගැනීමට මෙහිදී කැමැත්ත පළකර තිබෙන අතර ලොව රබර් නිෂ්පාදන ක්ෂේත්රයේ ඉහළින්ම සිටින ශ්‍රී ලංකාවේ රබර් තම රථවාහන නිෂ්පාදන කර්මාන්තය සඳහා යොදා ගැනීමට අවස්ථාව තිබෙන බව ශ්‍රී ලංකා නියෝජිතයන් පෙන්වා දී තිබේ. තම මෝටර් රථ කර්මාන්තය සඳහා අවශ්‍ය රබර් අප්‍රිකානු හා අග්නිදිග ආසියානු රටවලින් මේ වනවිට ලබා ගන්නා බවද එම සැපයුම් දාමය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය බවද නියෝජ්‍ය අගමැතිවරයා පෙන්වා දී ඇත.
ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනයේ ප්රමුඛ ස්ථානය ගන්නා ස්ලෝවැකියාව, වොක්ස්වැගන්, කියා, පර්ජෝ වැනි වාහන නිපදවන අතර එරට සමස්ත කාර්මික නිෂ්පාදනයෙන් සියයට 44ක් මෝටර් රථ වෙයි. 2017 දී ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන රටවල් අතරින් ප්‍රමුඛයා බවට පත්වීමට ස්ලෝවැකියාව සමත්විය.
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ස්ලෝවේනියානු ජනරජයේ නියෝජ්‍ය අගමැති සහ මුදල් ඇමැති පීටර් කෂිමිර් මහතා මෙරට රැදී සිටි කාලය තුළ විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන, මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයන්හි ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ද සාකච්ඡා කළේය.
මේ අතර ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ ව්‍යාපාරික සමුළුවක් සඳහා ද ස්ලෝවේනියානු ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම එක්වූ අතර එහිදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ස්ලෝවේනියානු ආයෝජන සහ වෙළෙඳ සංවර්ධන ඒජන්සිය අතර ගිවිසුමකට ද අස්සන් කළේය.
0 Comments