කාන්තාවන්ට ඉහළම තනතුරු පිරිනැමුණේ ශ්‍රි ලංකාවෙන් බවත්, ප්‍රථම අගමැතිනිය, ජනාධිපතිනිය, අගවිනිසුරුවරිය ලංකාවේ කාන්තාවන් පත්වීම කාන්තා පරපුර ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් වන්නේ යැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
ලේක්හවුස් ආයතනයේ ප්රකාශනයක් වන තරුණි පුවත්පතේ අනුග්‍රහයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත් වූ පුහුණු වැඩමුළුවක දී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසිය.
මෙම පුහුණු වැඩමුළුව අවිස්සාවේල්ලේ සැලෝන් කුමුදු රූපලාවන්‍ය ආයතනයේ අධිපති එස්. කුමුදුනි ජයසිංහ මහත්මිය පැවැත්වූවාය.
එහිදී ප්‍රධාන අමාත්‍යවරයා මෙසේද පැවසීය.
අතීතයේ තම නිවසේ සිට සැමියාගේ සහ දරුවන්ගේ සැපදුක පමණක් බැලීමට සීමාවූ ගැමි හා නාගරික කාන්තාව පිරිමින් සහ වැඩිහිටියන් සැලකුවේ දාසියක ලෙසින්.
කාන්තාවන් උදෙසා විවිධ පුවත්පත් හතු පිපෙන්නාක් මෙන් මුද්‍රණය වෙනවා. සමහර කාන්තා පුවත්පත් අම්මාවරුන්ට ගෙදර ගෙනියන්න නොහැකි තරම් අසභ්‍යයයි. හේතුව ලස්සන රූප නිසා කුඩා දරුවනුත් ඒවා බලන්න පෙළඹෙනවා. ලිපි බලා ඒවා අත්හදා බලන්න යනවා.
අද ලංකාවේ කාන්තාවන්ට, දරුවන්ට බලන්න ඇති පත්‍ර ප්‍රමාණය ඉතා අල්පයි. මෙවැනි අවස්ථාවක ලංකාවේ පැරණිම පුවත්පත බිහිකළ ලේක්හවුස් පුවත්පත් සමාගම නමින් ප්‍රකට ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමෙන් කාන්තාවන් උදෙසා මීට වසර 48කට පමණ පෙර තරුණි පුවත්පත බිහිකළා. මමත් බිරියත් නිරන්තරයෙන් පුවත්පත් බැලීමට පුරුදු වී සිටිනවා. ලේක්හවුස් ආයතනයේ තරුණි පුවත්පත සමස්ත ලංකා කාන්තාවන්ගේ සංවර්ධනය, දියුණව, ආකල්පමය අදහස් නවතාවයෙන් යුතුව වර්ධනය කිරීමට මුල් තැනක් ගෙන තිබෙනවා කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
මෙම පුහුණුව මෙවර බදුල්ලේ කාන්තාවන්ට ලබා දී ඇත්තේ නොමිලයේයි. තව තවත් මෙවැනි වැඩමුළු පැවැත්වීමට කටයුතු කරන ලෙස මා ආරාධනය කරනවා. මා පෞද්ගලිකව දන්නවා ලේක්හවුස් ආයතනය ජනතා සුබසිද්ධිය සඳහා මෙම පුවත්පත්, ප්‍රකාශන බෙදා හරින්නේ හුදෙක් ලාබ ලැබීමේ පරමාර්ථයෙන් නොව සමාජ සුබසිද්ධිය සඳහාම බව. කෙසේ වෙතත් ඌව පළාතේ පාසල් සඳහාත් සිසුන්ට සම්මන්ත්රණ පැවැත්වීම සඳහාත් ඌව පළාතේ දුෂ්කර පාසල්වල පුස්තකාලවල දියුණුව සඳහාත් යම්කිසි වැඩපිළිවෙළක් ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වලින් ආරම්භකරන ලෙස මා ඉල්ලා සිටිනවා. මේ සඳහා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් මා ඔවුන්ට පළාත් සභාවේ සහාය ලබා දෙන්න කැමති යි.
තරුණි පුවත්පතේ ප්‍රධාන කතෘවරිය වන මනෝලි සුබසිංහ මහත්මිය සභාව අමතා මෙසේ පැවසීය.
ලේක්හවුස් ආයතනය කවදත් කටයුතු කළේ මහජන යහපත සඳහායි. සභාපතිතුමා කතෘ මණ්ඩල අධ්යක්ෂතුමා ඇතුළු සමස්ත අධ්‍යක්ෂක මණ්ඩලයෙන් සහ තරුණි කතෘමණ්ඩලයෙන්ද අපගේ සහෝදර පුවත්පත් කතෘවරුන්ගෙන්ද, පාඨක ජනතාවගෙන්ද ලැබෙන සහාය මම අගය කරනවා.
දෙමෝදර සමුහ ආර්. එම් . සෝමරත්න
0 Comments