Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සියලුම ශික්ෂණ රෝහල්වලට පෝෂණ වෛද්‍ය ඒකක

Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

රට පුරා පිහිටි ශික්ෂණ රෝහල් ඇතුළු සියලු ප්‍රධාන රෝහල්වල පෝෂණ වෛද්‍ය ඒකකයන් පිහිටුවීමට රජය තීරණය කරයි.

මන්දපෝෂණයෙන් හා අධි පෝෂණයෙන් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව අවම කරමින් නිරෝගිමත් ජාතියක් බිහි කිරීමේ අරමුණෙන් සියලු රෝහල්වල පෝෂණ වෛද්‍ය ඒකකයන් පිහිටුවන බවත් එමඟින් ජනතාව දැනුවත් කර මනා පෝෂණයෙන් යුක්ත ප්‍රජාවක් රට තුළ බිහි කිරීමට අරමුණු කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ ජාතික රෝහලේ මෙරට ප්‍රථම පෝෂණ වෛද්‍ය ඒකකය ස්ථාපිත කර විවෘත කිරීම පසුගියදා (02) සිදු කෙරිණි.

කොළඹ ජාතික රෝහලේ පෝෂණ වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව (02) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. කොළඹ ජාතික රෝහලෙන් සාමාන්‍යයෙන් දිනකට නේවාසිකව හා බාහිර රෝගී අංශයෙන් 4000 ක පමණ රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා ගන්නවා. ඒ වගේම සේවකයින් 8000 ක් සේවය කරනවා. එවිට මේ රෝහලෙන් 12,000 කට පමණ පෝෂණය සම්බන්ධයෙන් දැනුමක් ලබා දිය හැකියි. ඔවුන් හරහා අඩුම තරමින් පුද්ගලයන් 60,000 ක් පමණ දැනුවත් කළ හැකියි. එය විශේෂ දෙයක්. මෙරට ප්‍රජාවගෙන් 60,000 ක පිරිසකට නිසි පෝෂණ තත්ත්වය ලබා ගැනීමට දැනුමක් ලබා දීමෙන් නිරෝගිමත් පුද්ගලයන් කණ්ඩායමක් රට තුළ බිහි කළ හැකියි. බෝ වන රෝග මර්දනය අතින් ශ්‍රී ලංකාව සුවිශේෂ ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඉදිරි වසර දෙක තුළදි මෙරටින් සියලු බෝ වන රෝග තුරන් කිරීමට අපි කටයුතු කරනවා. නමුත් ගැටලුවකට තිබෙන්නේ බෝ නොවන රෝග. බෝ නොවන රෝග නිසා පුද්ගලයන් බොහෝ සංඛ්‍යාවක් මරණයට පත් වෙනවා.

රට තුළ හොද පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සදහා පෝෂණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සහ පෝෂණවේදීන් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා. අඩුම වශයෙන් පෝෂණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් 100 ක් පමණ රටට අවශ්‍යයයි. එසේම පෝෂණවේදීන් 500 ක් පමණ රටේ සිටිනවා. එම සංඛ්‍යාව මදි. අඩුම වශයෙන් පෝෂණවේදීන් 4000 ක් 5000 ක්වත් රට තුළ සිටිය යුතුයි. එම කණ්ඩායම නිර්මාණය කර ගැනීමට අපි උත්සාහ කරනවා. රටේ ජනතාවගේ පෝෂණය ඉහළ නැංවීමෙන් නිරෝගිමත් ජනතාවක් බිහි කර රට සංවර්ධනය කළ හැකියි. රටේ සංවර්ධනයට විශේෂයෙන්ම නිරෝගිමත් ජනතාවක් අවශ්‍යයයි. ගම් මට්ටමෙන් ජනතාව පෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුයි. බෝ නොවන රෝග වළක්වා ගැනීම සදහා දුම්කොළ විරෝධි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අතින් ලෝකයේ අංක එකේ රට බවට ඉදිරි කාලයේදි ශ්‍රී ලංකාව පත් වන බව කිව යුතුයි. ඒ සදහා වන කැබිනට් පත්‍රිකාව මේ වන විට මං ඉදිරිපත් කර තිබෙනවා.

මේ අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසිම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. කුමාරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා, පෝෂණය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, වෛද්‍ය නලින්ද හේරත් මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();