ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ භයානකම ක්රීඩකයා තමන් බව ප්රතිවාදී ක්රීඩකයන්ට දැනෙන්නට සැලැස්වු ලෝක පූජිත සුපිරි තරුව නේමාර්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් මෙක්සිකෝවට එරෙහිව ගෝල 2-0ක ජයක් වාර්තා කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පිට පිට 7 වැනි වරටත් අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්විය.
සමාරා නුවර කොස්මොස් අරීනා ක්රීඩාංගණයේ ක්රීඩාලෝලීන් 41,970ක් එහෙම පිටින්ම ප්ර මෝදයට පත් කළ නේමාර් තරගයේ 51 වැනි මිනිත්තුවේදී විශිෂ්ට ගෝලයකින් බ්රසීලය ඉහළට ඔසවා තැබූ අතර 88 වැනි මිනිත්තුවේදී සිය සමීපතම සගයා වන රොබේටෝ ෆර්මිනෝට ගෝලයක් එල්ල කිරීමට පසුබිම සකස් කරමින් නිවැරැදිව පන්දුව පිරිනැමීමට සමත්විය. පස්වතාවක්ම ලෝක පාපන්දු කිරුළට හිමිකම් කී බ්රසීලය මෙවර තරගාවලියේ දී සිය 6 වැනි කුසලානය හඹා යන අතර නේමාර් එහි ප්රධානතම තුරුම්පුව බවට පත්වී සිටී. තරගයේ වැඩිම වේලාවක් පන්දුව තම කණ්ඩායම අතර තබාගත් බ්රසීලය ප්රතිවාදී මෙක්සිකෝව දැඩි පීඩනයකට ඇද දැමුවේය. මෙක්සිකෝවට ගෝලයක් වාර්තා කිරීමට කදිම අවස්ථාවක් ලැබුණත් ජේසුස් ගැලාර්ඩෝ එල්ල කළ පහර බ්රසීල ගෝල් කණුවේ වැදී ඉවතට ඇදී ගියේය.මේ තරගයේ ලැබූ ජයග්රහණයත් සමග අර්ධ අවසන් පූර්ව වටයේ දී බ්රසීලයේ ප්රතිවාදියා බවට පත්වූයේ එදිනම පැවැති අනික් තරගයෙන් ජපානයට එරෙහිව පෙරළිකාර ජයක් ලැබූ බෙල්ජියම කණ්ඩායමය.
0 Comments