Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා-ඉන්දීය යොවුන් ක්‍රිකට් තරගාවලිය ඇරැඹේ

Author(s): 
ෆවුස් මොහොමඩ්
ගීෂා මුණසිංහ

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වීමේ දොරටු විවර කෙරෙන තෝතැන්නක් ලෙස සැළකෙන අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්ෂේත්‍රයට විදෙස් තරග අත්දැකීම් ලබාදීමේ ක්‍රිකට් ආයතන සැලසුමට අනුව ක්‍රියාත්මක වූ ඉන්දීය යොවුන් ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු නිල නොවන සිවුදින ක්‍රිකට් තරගය ඊයේ (17) කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

නිපුන් ධනංජයගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා යොවුන් පිලත්, අන්ජු රාවට්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය යොවුන් පිලත් මේ තරගාවලියට එක්වී සිටින්නේ ඔවුනොවුන්ගේ දස්කම් මැන බැලීමේ අපූරු පරීක්ෂණයකටය. මේ තරගාවලියට ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරු සචින් තෙන්ඩුල්කර්ගේ පුත්‍රයා වන අර්ජුන් තෙන්ඩුල්කර් ක්‍රීඩා කිරීම නිසා කාගෙත් වැඩි අවධානය යොමුවී තිබේ. දෙපිලේහිම ක්‍රීඩකයන් වැඩි පිරිසක් අද සිය මංගල යොවුන් ටෙස්ට් තරගයට සහභාගි වූවත් 18 හැවිරිදි අර්ජුන් තෙන්ඩුල්කර් ඒ අතරින් කැපී පෙනෙන ක්‍රීඩකයකු බවට පත්වී ඇත්තේ සිය පියාගේ කීර්තිමත් නාමය හේතුවෙනි. ඔහු සචින් මෙන් පිතිකරුවකු නොව කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නා වීමත් කැපී පෙනේ.

ශ්‍රී ලංකා යොවුන් පිලට මේ වසරේ මුල් භාගයේ නවසීලන්තයේ පැවැති 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් 5 දෙනකු ඇතුළත්වී සිටිති. කණ්ඩායමේ නායකත්වය දරන වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලේ නිපුන් ධනංජය, නිශාන් මධුසංඛ, කළණ පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු සහ නිපුන් මාලිංග ඒ අතර වෙති. මින් වඩාත් අවධානයට පාත්‍රවී සිටින්නේ ගාල්ල මහින්ද විදුහලේ වේගපන්දු යවන්නකු වන නිපුන් මාලිංගය. මීට අමතරව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ වේගපන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා ද කැපී පෙනෙන ක්‍රීඩකයෙකි. මේ තරගාවලියේදී පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමක් නියෝජනය කිරිමේ අවස්ථාව යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයකුට හිමිවීමත් විශේෂත්වයකි. මේ වාසනාව අත්වූයේ යාපනය මැදි විදුහලේ දඟ පන්දු යවන ක්‍රීඩක විජේකාන්ත් වියස්කාන්තන්ටය.

ඊයේ ආරම්භ වූ තරග 2කින් සමන්විත සිවුදින නිල නොවන ටෙස්ට් තරගමාලාවෙන් පසුව දෙපිල එක්දින තරග 5කට ක්‍රීඩා කරනු ඇත. හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර කළමනාකරු ලෙස කාන්තා ක්‍රිකට් පිලේ හිටපු පුහුණුකරු හේමන්ත දේවප්‍රිය කටයුතු කරයි. ශ්‍රී ලංකා යොවුන් පිල ඉතා සමබර කණ්ඩායමක් බැවින් මේ තරගාවලියේදී ඉන්දීය යොවුන් පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට හැකිවනු ඇතැයි ද, සාර්ථකව තරගාවලිය නිමා කරගැනීම එකම අරමුණ වී ඇතැයි ද තරගාවලිය පිළිබඳ පෙරේදා පස්වරුවේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක නිපුන් ධනංජය ප්‍රකාශ කළේය.

ඉන්දීය පිලේ නායක අන්ජු රාවට්, කළමනාකරු ඩබ්.වී.රාමන්, ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ කළමනාකරු හේමන්ත දේවප්‍රිය සහ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහත්වරු ද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

තරග කාල සටහන

පළමු නිල නොවන ටෙස්ට් තරගය කොළඹ එන්.සී.සී. පිටියේදී

දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය

24- 27- හම්බන්තොට මහින්ද රාජපක්ෂ පිටියේදි

පළමු එක්දින තරගය - 30 දා පී.සරා ඕවල් පිටියේදි

දෙවැනි එක්දින තරගය අගෝ.2 එස්.එස්.සී. පිටියේදි

තුන්වැනි එක්දින තරගය අගෝ.5 එස්.එස්.සී.පිටියේදි

සිවුවැනි එක්දින තරගය අගෝ.7 මොරටුවේදි‍

පස්වැනි එක්දින තරගය අගෝ.10 මොරටුවේදි

ශ්‍රී ලංකා පිලේ නායක නිපුන් ධනංජය සහ ඉන්දීය පිලේ නායක අන්ජු රාවට් ඡායාරූපය - ශාන් රඹුක්වැල්ල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();