ප්රබලතම කණ්ඩායමක් ලෙස ලෝක කුසලාන තරග බිමට පිවිසි ලයනල් මෙසීගේ ආජෙන්ටිනා පිල තරගාවලියෙන් ඉවතට තල්ලු කරමින් ප්‍රංශය අවසන් කණ්ඩායම් අටට ගෙන ගිය යොවුන් ක්‍රීඩක කයිලාන් එම්බපේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් උරුගුවේ පිල අද (6) පස්වරුවේ ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තීරණාත්මක තරගයට එක්වෙයි. නිෂ්නි නව්ගොරොඩ් පිටියේ පැවැත්වෙන මේ තරගයේදී යළිත් සිය පෙරළිකාර දස්කම් තුළින් ප්‍රංශය අවසන් පුර්ව වටයට ගෙනයාමට බපේ බලාපොරොත්තු වූවත් අභියෝගාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් උරුගුවේ පිලට ජයගෙන දීමට සුපිරි ක්‍රීඩක ලුයිස් සුවාරිස් බලා සිටී.
ආජෙන්ටිනාව සමග පැවති පිළිමළුන් පිටුදැකීමේ තරගය ගෝල 2-2කින් සමවූ මොහොතේ පිට පිට ගෝල දෙකක්ම රැස් කරමින් ලයනල් මෙසීගේ කණ්ඩායම අන්දමන්ද කළ බපේ ප්‍රංශයේ බලාපොරොත්තු ඉහළට ඔසවා තැබුවේය. ඔහු ඒ තරගයේදී ලැබූ ගෝල ද්විත්වයත් සමග මෙතෙක් ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වී සිටින්නේ ගෝල 3කට හිමිකම් කියමිනි. බපේ මෙන්ම ප්‍රබල ක්‍රීඩක ඇන්ටෝනි ග්‍රිස්මාන් කෙරෙහි ද ප්‍රංශය වැඩි බලාපොරොත්තු තබා සිටී.
උරුගුවේ පිල හමුවේ මෙතෙක් ප්‍රතිවාදින්ට ලබාගත හැකිවී ඇත්තේ එක් ගෝලයක් පමණි. පිළිමළුන් පිටුදැකීමේ තරගයේදී එම ගෝලය වාර්තා කළේ පෘතුගාලයේ පෙපේය. ඒ හැරුණු විට සෙසු තරගවලදී ප්‍රතිවාදීන් දැඩි ආක්‍රමණයකට ලක් කිරීමට උරුගුවේ ආරක්ෂක වළල්ල සමත්වූ බැවින් අද තරගයේදී ප්‍රංශයට ජය ලැබීමට නම් දැඩි තරගයක් දීමට සිදුවනු ඇත.
උරුගුවේ පිලේ ප්රබලතම ක්‍රීඩකයකු වන එඩින්සන් කවානි ගෝල 2ක්ම වාර්තා කරමින් පෘතුගාලය සමග පැවැති තරගයේ දී සිය කණ්ඩායමට ජයගෙනදීමට සමත්වුවත් එම තරගය අතරතුර ආබාධයකට ලක්වීම නිසා අද තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.
බ්‍රසීලයට අද අභියෝගයක්
මේ අතර ජපානය සමග පැවැති පිළිමළුන් පිටුදැකීමේ තරගයෙන් පරාජය පෙනි පෙනී තිබියදී අවසන් මොහොතේ ජයග්‍රහණය අත්කරගත් බෙල්ජියම අද ලෝක කුසලාන 5කට හිමිකම් කියන බ්‍රසීලය සමග කසාන් අරීනා ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය. නේමාර්ගේ විශිෂ්ට ක්‍රීඩා රටාවෙන් පිරුණු බ්‍රසීල කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ තරගයේදී මෙක්සිකෝවට එරෙහිව ගෝල 2-0ක ජයක් අත්කර ගත් අතර අද බෙල්ජියම පරදවා අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.
සිය කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුම දස්කම් අතරේ සිටින බවත්, මොරීන් ෆෙලනී සහ මෙතෙක් බෙල්ජියම වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කරමින් ගෝල 4කට හිමිකම් කියන රොමේලු ලුකාකු අද තරගයේදී බ්‍රසීලයට දැඩි හිසරදයක් වනු ඇත. එසේ වුවත් නේමාර් සමග එක්ව බ්‍රසීල කණ්ඩායම මෙවර අවසන් මහා තරගයට රැගෙන යාමේ අදිටනින් පසුවන තියාගෝ සිල්වා, කොටින්හෝ, රොබේටෝ ෆර්මිනෝ සහ පොලින්හෝ හමුවේ දැඩි සටනක නිරතවීමට බෙල්ජියමට සිදුවනු ඇත.
0 Comments