Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලිතුවේනියාව සමඟ තරගය නරඹන්න තුරඟ තරග පිටියට එන්න

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාව හා ලිතුවේනියාව අතර පැවැත්වෙන පාපන්දු තරගය නැරැඹීම උදෙසා කොළඹ පැරණි තුරඟ තරග පිටියට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ක්‍රීඩා ලෝලීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. වසර 2012දී බංග්ලාදේශය හා මාලදිවයින සමග නාවලපිටියේදී පැවැති තරගාවලියෙන් පසුව විදෙස් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය බැවින් පාපන්දු ක්‍රීඩාවේ නව පිබිදීමක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලධාරීහු පවසති.

ලිතුවේනියාව හා ශ්‍රී ලංකා පළමු පෙළ කණ්ඩායම අතර තරගය මේ මස 8 වැනිදා පැවැත්වෙන අතර 11 වැනිදා ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය සමග තවත් පාපන්දු තරගයක් සංවිධාන කොට ඇත. මේ පාපන්දු තරග දෙකම විදුලි ආලෝක ධාරා මැද පැවැත්වීමට කටයුතු සැලසුම් කොට තිබේ. ශ්‍රී ලංකා පාපන්දු පිලේ නායකත්වයට නාවික හමුදා ක්‍රීඩා සමාජයේ, 27 හැවිරිදි සුභාෂ් මධුෂාන් නම්කොට ඇත. ඔහු ශ්‍රී ලංකා පිල සමග බංග්ලාදේශය, මැලේසියාව හා කාම්බෝජයේ තරග සංචාරවලට සහභාගී වූ පළපුරුදු ක්‍රීඩකයෙකි.

කොළඹ සාන්ත පීතර් විදුහලේ මොහොමඩ් සබීර් හා කොළඹ සාන්ත ජෝෂප් විදුහලේ අසේල මධුෂාන් කණ්ඩායමට එක්වූ යොවුන් ක්‍රීඩකයන් දෙදනෙකි. ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ ප්‍රකාශයට පත්කළ ක්‍රීඩකයන් 23න් 18ක්ම වයස අවුරුදු 25 හා 25ට අඩු වයස්වල ක්‍රීඩකයන්වීම මෙවර විශේෂත්වය වේ. ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු පකීර් අලී මහතා පැවැසුවේ මෙවැනි යොවුන් කණ්ඩායමක සේවය ශ්‍රී ලංකාවට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවයි.

“ලිතුවේනියාව ඉතා ප්‍රබල කණ්ඩායමක්. අප සැලසුම් කරන්නේ මේ තරගයෙන් ජය ගැනීමට වඩා හොඳ පාපන්දු ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමටයි. වැටී ඇති පාපන්දු ක්‍රීඩාවට නව පනක් දීමට නම් අපගේ ප්‍රේක්ෂකයන්ට හොඳ තරගයක් පෙන්විය යුතුයි. රට පුරා දක්ෂතම ක්‍රීඩකයන් තෝරාගෙන මේ සංචිතය නම්කොට තිබෙන්නේ” ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු පැවැසීය.

ශ්‍රී ලංකා පාපන්දු පිල ජයග්‍රාහී මාවතට පිවිසියහොත් එය රටට ආඩම්බරයක් වනු ඇතැයි පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා සඳහන් කළේය. “මේ ගමනට සියලු දෙනගේ ආශිර්වාදය අවශ්‍යයි. මේ කණ්ඩායම පාපන්දු සම්මේලනයේ පාපන්දු කන්ඩායම පමණක් නොවෙයි. මුලු රටටම අයිති පාපන්දු කණ්ඩායමයි” සිල්වා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පාපන්දු පිල ලිතුවේනියාව සමග පළමු තරගයෙන් අනතුරුව එදිනම රාත්‍රියේ ජපානයේ හා කොරියාවේ පාපන්දු සංචාර දෙකකට පිටත් වේ. එය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන දකුණු ආසියා පාපන්දු තරගාවලිය වෙනුවෙන් පෙරහුරු තරග සංචාර වේ.

“ශ්‍රී ලංකා පාපන්දු පිලට මේ වසර ඉතාම කාර්ය බහුල එකක්. අප උත්සහා කරන්නේ මේ වසරේ දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට පෙර හා පසු විදෙස් තරගාවලි කිහිපයක්ම සංවිධාන කරන්නයි. කලකට පසුව ඇතිවන මේ ප්‍රබෝධය දිගටම පවත්වාගෙන යන වැඩ පිළිවෙළක් බවට පත් කිරීමට හැකියාව ලැබෙනවා. අපේ ක්‍රීඩකයන් දිරි ගන්වන්න, තරග නරඹන්න, රීඩ් මාවත තුරඟ තරග පිටියට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා” ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් යූ. එල්. ජස්වර් මහතා පැවැසීය.

වසර 6කට පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය පාපන්දු කණ්ඩායමක් සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා ලෝලීන්ගේ විශාල ආකර්ශනයක් ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් යූ. එල්. ජස්වර් මහතා පැවැසීය. එලෙස පාපන්දු ක්‍රීඩාව ජනතාවට සමීප කිරීම වෙනුවෙන් පසුගිය දිනවලදී විවිධ ක්‍රීයාමාර්ග රැසක් සංවිධානය කළ බවද ජස්වර් මහතා සඳහන් කළේය. ලිතුවේනියාව සමග තරගය නැරැඹීම සඳහා විශේෂ ආරාධිතයන් ලෙස ක්‍රිකට්, රගර් ඇතුළු අනෙකුත් ක්‍රීඩාවල සුපිරි තරු සහභාගීවන බවද ඒ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නිත්‍ය ගෝල් රකින්නා ලෙස මාලදිවයිනේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩක සුජාන් පෙරේරා ශ්‍රී ලංකා පිලට එක්වේ. පාපන්දු සම්මේලනයේ වියදමින් සුජාන් පෙරේරා මාලදිවයිනේ සිට ගෙන්වා ගැනෙන අතර ඔහු ලිතුවේනියාවට එරෙහි පළමු තරගයට සහභාගීවී නැවැත මාලදිවයින බලා පිටත්වීමට නියමිතය.

ලිතුවේනියා පාපන්දු කණ්ඩායමට එරට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු මෙන්ම දෙවැනි පෙළ ක්‍රීඩකයන් කිහිප දෙනකු ද සහිතව මිශ්‍ර කණ්ඩායමක් ඇතුළත්ය. ලිතුවේනියා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ 106වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක මට්ටමේ 200වැනි ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මෙසේය:

සුභාෂ් මධුෂාන් (නායකයා - වයස 27යි, නාවික හමුදා ක්‍රීඩා සමාජය), කවීෂ ප්‍රනාන්දු (වයස 23යි, කොළඹ පාපන්දු සමාජය), රෂීක් රිෂාඩ් (වයස 20යි, රිනවුන් ක්‍රීඩා සමාජය), උදය කීර්ති කුමාර (වයස 30යි, යුද හමුදා ක්‍රීඩා සමාජය), වයි. ඩක්සන් පුස්ලාස් (වයස 28යි, නිව් යංග්ස් සමාජය), අෂුකූර් රහුමාන් (වයස 25යි, යුද හමුදා ක්‍රීඩා සමාජය), අෆීල් මොහොමඩ් (වයස 22යි, කොළඹ පාපන්දු සමාජය), සසන්ග ජයසේකර (වයස 19යි, රත්නම් ක්‍රීඩා සමාජය), සජිත් කුමාර (වයස 25යි, යුද හමුදා ක්‍රීඩා සමාජය), මොහොමඩ් ෆසාල් (වයස 28යි, කොළඹ පාපන්දු සමාජය), මොහොමඩ් හස්මීර් (වයස 28යි, නාවික හමුදාව ), මොහොමඩ් රිෆ්නාස් (වයස 23යි, කොළඹ පාපන්දු සමාජය), මොහොමඩ් සර්වාන් (වයස 22යි, කොළඹ පාපන්දු සමාජය), මොහොමඩ් සබීර් (වයස 17යි, පොලිස් ක්‍රීඩා සමාජය), අසේල මධුෂාන් (වයස 18යි, රිනවුන් ක්‍රීඩා සමාජය), ඒ. ජූඩ්. සුපුන්(වයස 20යි, රිනවුන් ක්‍රීඩා සමාජය), සන්තියා නිතර්සන් (වයස 23 යි, රිනවුන් ක්‍රීඩා සමාජය), සුභාෂ් මධුෂාන් (වයස 27යි, නාවික හමුදා ක්‍රීඩා සමාජය), සමිත ප්‍රනාන්දු (වයස 22යි, යුද හමුදා ක්‍රීඩා සමාජය), චරිත් රත්නායක (වයස 22යි, කොළඹ පාපන්දු සමාජය), ධනුෂ්ක රාජපක්ෂ (වයස 25යි, නිව් යංග්ස් සමාජය), මොහොමඩ් මුස්ටාක් (වයස 20යි, ක්‍රිස්ටල් පැලස් සමාජය), චතුර ධනංජය (වයස 19යි, නිව් යංග්ස් සමාජය), චතුරංග පෙරේරා (වයස 23යි, යුද හමුදා ක්‍රීඩා සමාජය),

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();