Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුදු රටකින් කළු රැජිනක්

කළු යනු දුඹුරු සීනි, කොකෝවා, මීපැණි සහ රත්රන්වල සංයෝගයක් බවටත්, එවැනි පැහැයෙන් යුතු ගැහැනුන් සඳු දසදහසක ආලෝකයක් විහිදුවන බවටත් අපූරු කියමනක් අප්‍රිකානු ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

එය සැබෑවක් නොවූවත් එම කියමන සිහිපත් කරමින් වසර 66ක බ්‍රිතාන්‍ය රූ රැජින තේරීමේ තරග ඉතිහාසයේ පළමු වතාවට කළු ජාතික යුවතියක පසුගියදා කිරුළ දිනාගත්තාය. මේ ඓතිහාසික වාර්තාව තැබුවේ 25 හැවිරිදි ඩී ඈන් කෙන්ටිෂ් රොජර්ස්ය. වසර 1952දී ආරම්භ කළ බ්‍රිතාන්‍ය රූ රැජන තේරීමේ තරගය පසුගියදා පැවැත්වූයේ එංගලන්තයේදීය. බ්‍රිතාන්‍යයට අයත් නැගෙනහිර කැරිබියානු දූපතක් වන ඇන්ගුයිලා සම්භවයක් සහිත මේ යුවතිය කියන්නේ බ්‍රිතාන්‍ය වැනි සුදු ජාතිකයන්ගේ අභිමානයෙන් පිරිපුන් රාජ්‍යයක මෙවැනි ‍ගෞරවයක් දිනාගැනීම ගැන නිහතමානීව සතුටු වන බවයි.

ඇගේ ජයග්‍රහණය ඉහළින්ම කැපී පෙනෙන කාරණාව වන්නේ එංගලන්තය වේල්සය, අයර්ලන්තය සහ බ්‍රිතාන්‍යයට අයත් දූපත් සමූහයක රූප සුන්දරියන් 40ක් අතරින් මුල් තැනට තේරී පත්වීමය.

සත් ප්‍රයාම ක්‍රීඩා ශූරියක ද වන ඇය බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලටද සහභාගි වී ඇත. අධ්‍යාපනයටත් උපන් හපන්කම් ඇති ඩී ඈන් බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ බැරිස්ටර් විභාගය නිමා කළේ පසුගිය මාසයේදීය. කළු ජාතික මව්වරුන්ට තම දියණියන්ගේ පැහැය ගැන ආඩම්බර විය යුතු කාලය එළැඹී ඇතැයි කිරුළ හිසේ පැළඳීමෙන් පසුව ඇය කීවාය.

'කවුරුත් කියන්නේ කළු පාට අඳුරු වර්ණයක් කියලයි. ඒත් මම හැමදාම විශ්වාස කළේ මගේ සමේ පාටට කවදාහරි දවසක වටිනාකමක් ලැබෙන බවයි. එය දැන් සැබෑ වෙලා.' ඩී ඈන්ගේ ජයග්‍රහණය අපට කියාදෙන්නේ ජීවිතයේ පැහැය කළු නොවන බවයි.

කිසිදිනෙක රූ රැජන තරගයකට පෙනී සිටීමට තමා බලාපොරොත්තු නොවූ බවත් ඇය කීවාය. එසේ වුවත් අහඹු ලෙස ඇගේ ජීවිතය පාට කළ මේ ජයග්‍රහණය මේ වසරේ දෙසැම්බර් මාසයේ පිලිපීනයේ පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජන තරගයේදී අලුත් කරගැනීම දැන් ඩී ඈන්ගේ එකම අරමුණය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();