නිල සාකච්ඡාවෙන් පසු ට්‍රම්ප් කියයි
අමෙරිකාව හා රුසියාව අතර සබඳතා බිඳ වැටීම පිළිබඳව දෙරටම වගකිව යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සියලු දෙනාම වරද පිළි ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ විවෘතව අදහස් ප්‍රකාශ කළේ ලෝක දේශපාලනයේ තවත් තීරණාත්මක පියවරක් තබමින් ඔහු හා රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් අතර පැවැති නිල සාකච්ඡාවෙන් පසුවයි.
ෆින්ලන්තයේ හෙල්සින්කිහි දී පැවති මේ සාකච්ඡාවේ දී වෙළෙඳාම, යුද කටයුතු, න්‍යෂ්ටික අවි මෙන්ම චීනය පිළිබඳවද අවධානය යොමු වී තිබේ. විනාඩි 90ක පමණ කාලයක් පුරා මාධ්‍යයට විවෘත නොවූ සාකච්ඡාවෙන් පසු දෙරටේ නායකයන් රාජතාන්ත්‍රික නිලධාරීන් ද සමඟ දිවා භෝජන සංග්‍රහයකට ද එක් විය.
ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන ලද්දේ ඉන් අනතුරුවයි. මෙහිදී උතුරු කොරියානු නායකයා සහ ට්‍රම්ප් අතර පැවැති සාකච්ඡාවට පුටින්ගේ ප්‍රශංසාව හිමි විය. න්‍යෂ්ටික බලවතුන් ලෙස ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුනට විශේෂ වගකීමක් පැවරී ඇති බව පුටින් වැඩිදුරටත් පැවසීය. න්‍යෂ්ටික අවිහරණය හා නිරායුධකරණය සම්බන්ධයෙන් දෙරට සතු වගකීම ඔහුගේ අවධානයට ලක් විය.
අමෙරිකාවේ මැතිවරණ ව්‍යාපාරයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක් වූ පුටින් කියා සිටියේ රුසියාව කිසි දිනෙක වෙනත් රටක මැතිවරණ සඳහා මැදිහත්වීමක් නොකළ බවත් ඉදිරියේදී නොකරන බවත්ය.
ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ මේ සාකච්ඡා පැවැත්වීමට තිබුණේ මීට බොහෝ කලකට පෙර බවයි. කෙසේ වෙතත් අමෙරිකාව, රුසියාව සමඟ පය ඉදිරියට තබා ඇති බව ඔහු පැවසීය.
0 Comments