Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ජයක් අභියස

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එස්. එස්. සී පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 490ක ඉලක්කයක් ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ තෙවැනි දිනය නිමාවෙද්දී ප්‍රතිවාදීන්ගේ කඩුලු 5ක් ලකුණු 139කදී දවා ගනියි. ඒ අනුව දකුණු අප්‍රිකාව තවත් කඩුලු 5ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 351ක් පසුපසින් සිටී. තවත් දින දෙකක් ඉතිරි මේ තරගයේදී, දඟ පන්දුවෙන් විස්මිත දස්කම් දක්වන ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය කිසිවෙකුට හෝ වැලක්විය නොහැකි බවට දැන් පිළිගත් මතයකි.

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජයට පත්කළ ශ්‍රී ලංකා පිල අද දිනයේ මේ තරගයෙන් ද ජය ලබා ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස නිමා කරනු ඇත.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 338ක් හා දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 275ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා දකුණු අප්‍රිකාවට දෙවැනි ඉනිමට අවස්ථාව විවර කළේය. දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 124කට සීමාවූ හෙයින් පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 224ක් ඉදිරියෙන් සිටියේය.

දිල්රුවන් පෙරේරාගේ 36වැනි උපන් දිනය ඊයේ දිනට යෙදී තිබූ අතර ඔහු යැවූ නීති විරෝධි පන්දු දෙකකින් කඩුලු දෙකක් අහිමිවීම හා උඩ පන්දුවක් අත්හැරීම වැඩිම අවධානයක් සහිත සිදුවීම් විය. ආරම්භක පිතිකරු ඩීන් එල්ගාගේ කඩුල්ල දෙවතාවකදී දිල්රුවන් දවාගත්ත ද ඒ අවස්ථා දෙකේම ඔහු ‘නෝබෝල්’ පන්දු යවා තිබූ හෙයින් පිතිකරු කඩුල්ලේ රැදී සිටියේය. දෙවැනි අවස්ථාවේදී එල්ගා දිල්රුවන්ගේ පන්දුවකට උඩ පන්දුවක් දී දැවී ගිය බවට විනිසුරු තීරණය කර ක්‍රීඩාගාරයට ගිය අතර රූපවාහිනී විනිසුරු දිල්රුවන්ගේ පන්දු යැවීම පරීක්ෂා කොට එය නොදැවීමක් බව ප්‍රකාශ කළේය.

ලොව ටෙස්ට් ක්‍රිකට් තරගයකදී දැවී ගිය ක්‍රීඩකයකු ක්‍රීඩාගාරයට ගියපසු නැවැත කැඳවා පන්දුවට පහරදීමට අවස්ථාව සලසා දුන් පළමු අවස්ථාව ලෙස එල්ගාගේ පුනරාගමණය සටහන් විය. එයට පෙර දිල් රුවන්ගේ ‘නෝබෝල්’ පන්දුවකදී එල්ගාර්ගේ කඩුල්ලේ පන්දුව වැදුණි. එල්ගා ලකුණු 5ක් ලබා සිටියදී හේරත්ගේ පන්දුවකට දිල්රුවන් අතට දුන් උඩ පන්දුවද ගිලිහුණි. එහෙත් එල්ගාර් ලකුණු 37ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් විය.

ආරම්භක පිතිකරුවන් වූ ඩීන් එල්ගා හා ඒඩ්න් මාක්‍රම් පිට පිට ඕවර් තුනකදී දවාගැනීමේ අවස්ථා තුනක් ලබාදී තිබියදී රංගන හේරත් මාක්‍රම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකොට ලකුණු 14කට දවා මුල්ම කඩුල්ල දවා ගත්තේය. දකුණු අප්‍රිකාවේ පළපුරුදු ක්‍රීඩක හෂීම් අම්ලා දඟ පන්දු ඉදිරියේ අසරණවී හේරත්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී ලකුණු 6කට දැවී ගියේය. මේ තරගයේදී හෂීම් අම්ලා ටෙස්ට් ලකුණු 9000 පසුකළ දකුණු අප්‍රිකානු පිතිකරු බවට පත්වීම විශේෂත්වයකි.

අකිල ධනංජයගේ දකුණත් පාදඟ පන්දුවකට නායක ෆෆ් ඩු ප්ලෙසි ඉදිරි පාදයේ ආරක්ෂක පහරක් එල්ල කිරීමට උත්සහා කළ අතර පත්තේ වැදුණ පන්දුව පළමු ස්ලිප් හී සිටි මැතිව්ස් වෙත උඩ පන්දුවක් දී දැව ගියේය. එය පිටියේ විනිසුරු තීරණයක් නොදුන් බැවින් ශ්‍රී ලංකාවේ ඉල්ලීම අනුව රූපවාහිනී විනිසුරු දුන් තීරණයකි. එම දැවී යෑමත් සමග ‘නයිට් වොච්මන්’ ලෙස පිටියට පිවිසි කේෂව් මහරාජ් පළමු පන්දුවේදීම ලකුණු 0කට දැවී ගියේය. අකිලගේ ඊළග පන්දුව ‘හැට්ට්‍රික්’ පන්දුව වුවද ටෙම්බා බවුමා එය ආරක්ෂාකාරී ලෙස පිළිගෙන අකිලගේ කඩුලු ත්‍රිත්ව බලාපොරොත්තු සුන් කළේය.

පෙරේදා තරගය දෙවැනි දිනට නතර කරද්දී දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 59ක් හා මැතිව්ස් නොදැවී ලකුණු 12ක් සමග ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 151ක් ලබා සිටියේය. දිමුත් ඊයේ දිනයේ මුල්ම කඩුල්ල ලෙස ලකුණු 85කට දැවී ගිය අතර එය ඔහු වාර්තා කළ 17වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස වාර්තා විය. මැතිව්ස් හා රෝෂෙන් සිල්වා එක්ව 5වැනි කඩුල්ලට ලකුණු 64ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර මැතිව්ස් ලකුණු 71කට දැවී ගියේ මහරාජ්ගේ පන්දුවකට ඩූ ෆෙලෙසී අතට උඩ පන්දුවක් දීමෙනි. මැතිව්ස් ටෙස්ට් ඉනිම 7කට පසුව ලැබූ එම අර්ධ ශතකය ඔහුගේ 29වැනි ටෙස්ට් අර්ධ ශතකය විය. රොෂෙන් නොදැවී ලකුණු 32ක් හා දික්වැල්ල නොදැවී ලකුණු 7ක් ලබා සිටියදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අත්හිට වූවේය.

මේ තරගයේ තීරණාත්මක සිවුවැනි දිනය අදයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();