Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු අප්‍රිකානු පිලට ලකුණු 278ක පරාජයක්

Author(s): 
වර්නන් ගුණසේකර

ඩිල්රුවන් පෙරේරා හා රංගන හේරත්ගේ අතිවිශිෂ්ට දඟ පන්දු ප්‍රහාරය හමුවේ නිරුත්තර වූ ලොව අංක 2 ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වන දකුණු අප්‍රිකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 278ක පරාජයක් ලැබීය.

දින දෙක හමාරක් ඇතුළත තරගය අවසන් කරමින් ඩිල්රුවන් ලකුණු 32කට කඩුලු 6ක්ද, රංගන ලකුණු 38කට කඩුලු 3ක්ද ලබා ගනිමින් ලකුණු 352ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකාව ලකුණු 73කට දවාලූ අතර මෙය වර්ණභේදවාදය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් පිටමං කර තිබී 1991 වසරේදී නැවත ජගත් ක්‍රිකට් පිටියට පැමිණීමෙන් පසුව දකුණු අප්‍රිකාව වෙතින් වාර්තා වූ අවම ටෙස්ට් මුළු ලකුණු සංඛ්‍යාව විය.

ඩිල්රුවන් සමස්ත තරගයේ ලකුණු 78කට කඩුලු 10ක් ලබා ගනිමින් ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළේය.

හේරත් සමස්ත තරගයේ ලකුණු 77කට කඩුලු 5ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක් හා ඩේල් ස්ටෙයින්ගේ දක්ෂතාවන් අභිබවා ගියේය. දකුණු අප්‍රිකාවේ වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වීම සඳහා පොලොක්ගේ කඩුලු 421 හඹා යමින් සිටි ස්ටෙයින් මේ තරගයේදී පොලොක් සමග සම තත්ත්වයට පිවිසියේය.

පන්දුවේ ‘බවුන්ස්’ වීම හා දඟ කැවීමෙන් පිරුණු ගාලු තණතීරුවේ ඩිල්රුවන් හා හේරත්ගේ ප්‍රබල දඟ පන්දුවලට දකුණු අප්‍රිකානුවන් සතුව පිළිතුරක් නොතිබිණි.

පළමු ඉනිමේදී නොදැවී ලකුණු 158ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 60ක් රැස්කර ගෙන ‘තරගයේ වීරයා’ වූ දිමුත් කරුණාරත්න සමස්ත තරගයේ ලකුණු 218ක් වාර්තා කළේ දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ඉනිම දෙකේදීම ලබා ගත් මුළු ලකුණු 199 අබිබවා යමිනි.

දකුණු අප්‍රිකාවේ පරාජයට ප්‍රධාන වශයෙන් බලපෑවේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා අවසන් කඩුලු 2 ට ලකුණු 111ක් හා දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 3 ට ලකුණු 56ක් ලබා දීමය.

කඩුලු 4 ට ලකුණු 111 සිට පෙරේදා තෙවැනි දින තරගය ඇරැඹූ ශ්‍රී ලංකාව ලකුණු 190කට දෙවැනි ඉනිමේදී දැවී ගියේය. දඟ පන්දු යවන කේෂව් මහරාජ් ලකුණු 58කට කඩුලු 4ක් ලබා ගත් අතර කගිසො රබාඩා ලකුණු 44කට කඩුලු 3ක් ලබා ගත්තේය. කරුණාරත්න ලකුණු 60ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 35ක්ද, නායක සුරංග ලක්මාල් නොදැවී ලකුණු 33ක්ද වාර්තා කළහ.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිමේ කිසිවෙකු නොදැවී ලකුණු 5ක් රැස්කර ගෙන සිටි දකුණු අප්‍රිකාවේ සියළුම ක්‍රීඩකයන් දිවා ආහාරයෙන් පසුව පැය දෙකකට අඩු කාලයක් ඇතුළත දැවී ගියහ.

දකුණු අප්‍රිකාව මේ මුළු තරගයේම මුහුණ දුන්නේ ඕවර 83යි පන්දු 2කට (පළමු ඉනිම ඕවර 54.3/දෙවැනි ඉනිම ඕවර 28.5) පමණි. මෙය ඔවුන් ආසියාවේදී මෙතෙක් මුහුණ දුන් අඩුම ඕවර සංඛ්‍යාව වෙයි.

ශ්‍රී ලංකාව ලබා ගත් මේ විශිෂ්ට ජයග්‍රහණය වඩාත් ප්‍රශංසනීය වන්නේ ඔවුන් සිය නායකයා හා පුහුණුකරු

නොමැතිව මේ තරගයට මුහුණ දීම නිසාවෙනි. තරගය අවසන් වන විට වර්නන් ෆිලැන්ඩර් නොදැවී ලකුණු 22ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම - 287යි. (ඕවර 78.4) දිමුත් කරුණාරත්න නොදැවී 158 (කගීසෝ රබාඩා 50/4, ටබ්රයිස් ෂම්සි 91/3)

දකුණු අප්‍රිකා පළමු ඉනිම- 126යි (ඕවර 54.3) ෆෆ් ඩු ප්ලෙසි 49 (ඩිල්රුවන් පෙරේරා 46/4, සුරංග ලක්මාල් 21/3, රංගන හේරත් 39/2)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම- 190යි (ඕවර 57.4) දිමුත් කරුණාරත්න 60, ඇන්ජෙලෝ මැතිව්ස් 35, සුරංග ලක්මාල් නොදැවී 33 (කේෂව් මහරාජ් 58/4, කගීසෝ රබාඩා 44/3)

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම - 73යි. (ඕවර 28.5) වර්නන් ෆිලැන්ඩර් නොදැවී ලකුණු 22, ඒ. මාක්‍රම් 19 (ඩිල්රුවන් පෙරේරා 32/6, රංගන හේරත් 38/3)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();