Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු ඉනිම ලකුණු 244යි

සංචාරක ඉන්දීය අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් පිල සමග කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වු පළමු සිවුදින තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 244ක් රැස් කළේය.

ඊයේ තරගයේ පළමු දිනයට ක්‍රීඩාව නතර කරනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය යොවුන් පිල කඩුල්ලක් දැවී ලකුණු 92ක් රැස්කරගෙන තිබිණි.

වේගවත් ඉනිමක් දියත් කළ අනුජ් රවාට්, ශමින්ද සේනාරත්නගේ පන්දුවක් හමුවේ ලකුණු 63කට දැවී යෑමත් සමග ඊයේ දිනයට තරගය නතර කෙරිණි. පන්දු 59කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් අනුජ්ගේ ඉනිමට ඇතුළත් වු අතර නොදැවී සිටි අතර්වා ටයිඩ් රැස්කළ ලකුණු සංඛ්‍යාව 26කි.

ඒ අනුව කඩුලු 9ක් අතැතිව සිටින ඉන්දීය පිල ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 152ක් පසුපසින් සිටී.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිශාන් මධුෂික සමගින් ඉනිම ඇරැඹු කමිල් මිෂාරට රැස්කරගත හැකිවූයේ ලකුණු 9ක් පමණි. අර්ජුන් තෙන්ඩුල්කාර්ගේ පන්දුවක් හමුවේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර නිශාන්ට එක්වූ නායක නිපුන් ධනංජය මුළු ලකුණු සංඛ්‍යාව 72ක දක්වා ඉදිරියට ගෙන ගියේය. නිශාන් දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර තෙවැනි කඩුල්ල ලෙස නිපුන් දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 93ක් විය. නිශාන් හා නිපුන් දෙදෙනාම ලකුණු 39ක් බැගින් රැස් කළහ. ලකුණු 22ක් ලබාසිටි නවීන් ප්‍රනාන්දු සිවුවැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් අනතුරුව පිටියේ එක්වු පසිඳු සූරියබණ්ඩාර සහ සඳුන් මෙන්ඩිස් ලකුණු 78ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 206 දක්වා ඉදිරියට ගෙන ගියහ.

මෙන්ඩිස් ලකුණු 39කට දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සූරියබණ්ඩාර 9 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ලකුණු 69ක් රැස්කර තිබිණි. පන්දු 134ක් වැයවූ ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය.

පන්දු යැවීමේදී අයුෂ් බදෝනි සහ හර්ෂ් ටියාගි කඩුලු 4ක් බැගින් දවා ගත්හ.

අද තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම - 244යි. (ඕවර 70.3) පසිඳු සූරියබණ්ඩාර 69, නිෂාන් මධුසංක 39, නිපුන් ධනංජය 39, සඳුන් මෙන්ඩිස් 39 (අයුෂ් බදෝනි 24/4, හර්ෂ් ටියාගි 92/4)

ඉන්දීය යොවුන් පිල පළමු ඉනිම - 92/1යි. (ඕවර 16.4) අනුජ් රවාට් 63

නිරෝෂාන් ප්‍රියංකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();