මාතර, මහා මන්තින්ද පිරිවෙනේදී අගමැති කියයි
හිට්ලර් පාලනයක් අවශ්‍ය බවට මා ඉදිරියේ පැවසුවා නම් ඒ මොහොතේදීම එයට විරුද්ධත්වය පළ කරන බවත් හිට්ලර්ගේ අමානුෂික පාලන ක්‍රමය සමඟ බුදු දහම එකට එකතු කරන්නේ කෙසේ දැයි තමාට නොතේරෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයට වසර 125 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සව මාලාවේ අවසන් දිනයවූ 23 දින සවස පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වූ අග්‍රාමාත්‍යවරයා එහිදී පැවති දහම් හමුව අමතමින් එලෙස පවසූ අතර එහිදී වැඩිදුරටත් කතාකළ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීවේය.
බුදුන් වහන්සේ සෑම විටම දේශනා කළේ සියලු මතයන්ට ගරු කිරීමේ අගය ගැනයි. බුදුදහම අනුව පාලකයෙක් ගැන කියනවා නම් අපිට තියෙන හොඳම උදාහරණය වන්නේ ධර්මාශෝක රජතුමායි. ඊටත් වඩා එහාට උන්වහන්සේ ලිච්චවීන්ට යෝජනා කළා සාමයෙන් රැස්වෙන්න, විවිධ මතවලට ගරුකරන්න, සෑම මතයටම ඉඩදෙන්න, සාමයෙන් සාකච්ඡා කරන්න, සාමයෙන් විසුරුවා හරින්න. මේ අනුව යනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනයන්න පුළුවන් වෙන එකක් නෑ.
බුදුරජාණන් වහන්සේ කිසිවිටක මිනිස්සු මරන්න කියා දේශනා කර නැහැ. අපි දන්නේ නෑ. හිට්ලරුයි බුදු දහමයි කොහොමද එකට එකතු කරගෙන යන්නේ කියා. මටනම් ඒක තේරෙන්නේ නෑ. අපි ඒකට විරුද්ධයි. අපිට විවිධ දේශපාලන මත තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නොවෙයි. කාටද ඡන්දය දෙන්නේ ඒවා ඔක්කොටම බුදුදහමේ ඉඩ තියෙනවා.
අපි කොහොමද පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ ඒවා ප්‍රශ්න නොවෙයි. ඉඩී අමීන් වගේ වෙන්න කියලා ඒත් අපිට කියන්න බෑ. පොල්පොට් වගේ වෙන්න අපිට කියන්න බෑ. අපිට කියන්න බෑ හිට්ලර් වගේ වෙන්න. ඒක විරුද්ධයි. ඒක කවුරු කළත් හෙළාදකින්න ඕනෑ. මම ඉන්න තැනක ඕක කීවානම් මම විරුද්ධ වෙනවා. හෙළා දකිනවා. මම ඉන්න තැනක ඕක කීවානම් මේ වන විට මාධ්‍යයෙන් මාව කාළා. ජනතාවගෙන් අහනවා රනිල් වික්‍රමසිංහ කළේ මොනවාද කියා. රෑ එළිවෙනකම් ගහනවා.
එක පත්තරයයි මේ කතාව කීවේ. විද්‍යුත් මාධ්‍යවලින් ප්‍රචාරය කළාට අපි කළානම් හැමදාම ප්‍රශ්න අහනවා පාරේ ඉන්නා මිනිසුන්ගෙන්. එදා මුද්‍රිත මාධ්‍ය, ඡායාරූප කරුවන් ගණනාවක් හිටියා. ඒත් පුවත්පත් වාර්තා ටික රහත්වුනා. මුද්‍රිත මාධ්‍ය තියෙන සමාගම්වල පුවත්පත් වාර්තා රහත්වුනා. මේගැන කතුවැකියක්වත් නෑ. මම අහන්නේ දැන් මාධ්‍යයට ඔහොම වෙනවානම් හිට්ලර් කෙනෙක් ආවාම මාධ්‍යයට මොනවද වෙන්නේ.
අපි ශිෂ්ඨාචාර සමාජයක් මේ ශිෂ්ඨාචාරය අනුව ගෙනියන්න ඕනෑ. ලෝකය අපිට ගරුකරන්නේ එවිටයි. රටේ ප්‍රශ්න තිබුණත් බුදුදහමේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා අපිට පාලනය ගෙනියන්න පුළුවන් වුනේ. මෙවැනි අවස්ථාවල බුදුන්වහන්සේගේ ධර්මය අනුව අපි ක්‍රියාකළ යුතුයි.
අද මේ මන්තින්ද විහාරස්ථානයේ විසිපස්වැනි සංවත්සරයට මට ආරාධනා කිරීම පිළිබඳ විහාරාධිපති ඉන්දානන්ද ස්වාමීන්වහන්සේට මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ උත්සවයේදී ගැටමාන්නේ නායක හාමුදුරුවන් නොසිටීම ගැන මට කනගාටුයි. උන්වහන්සේයි මමයි ඉතා ළඟින් ආශ්‍රය කළා. උන්වහන්සේ කතාකර මට අවවාද දෙනවා. මගෙන් කරපු ඉල්ලීමක් නෑ. ඔබ වහන්සේ කරපු ඉල්ලීමට මේ ගොඩනැගිල්ලට මුදල් දීල අලංකාර භික්ෂු නිවාසයක් අපි හදලා දෙන්නම්. මොකද මහා මන්තින්ද පිරිවෙණ කියන්නෙ ලංකාවේ පැරණි පිරිවෙණක්.
19 වැනි ශතවර්ෂයේ යළිත් බුද්ධාගම පුනරුත්ථාපනය සමග භික්ෂු අධ්‍යාපනයේ වැදගත්කම වටහාගෙන අපේ හික්කඩුවේ නායක ස්වාමීන්වහන්සේ විද්‍යෝදය පිරිවෙණ ආරම්භ කළා. විද්‍යාලංකාර පිරිවෙණ ආරම්භ කළා. මාතර හිටපු ඉලංගකෝන පණ්ඩිතරත්න මැතිනිය ඇතුළු පිරිස මාතරට පිරිවෙණක් ලබාදෙමින් මේ මහා මන්තින්ද පිරිවෙණ ආරම්භ කළේ ඊට පසුවයි.
වැලිවිට සංඝරාජ ස්වාමීන් වහන්සේගේ කාලයේ සිට මෙහි ආ දකුණේ භික්ෂු පරම්පරාව අතින් දියුණුව ඕලන්ද යුගයේ අන්තිම කාලයේදී ඕලන්ද පාලකයොත් ආණ්ඩුකාරවරයා හා භික්ෂූන් වහන්සේ අතර බුද්ධ ධර්මයත් සිංහල චාරිත්‍ර ගැනත් සාකච්ඡා කර සමහර ඒවා ලියාගෙන තිබෙනවා.
තවම ඒ ගැන විස්තර හොයාගෙන නෑ. ඒ සටහන් ලංකාවේ නැත්නම් අඩුගානේ ඒවා නෙදර්ලන්තයේ තිබිය යුතුයි. ඇති මම හිතන විදියට ඒවා ලංකාවෙත් තියෙන්න ඕනෑ. එවන් වැදගත්කමක් දකුණේ සංඝ පරපුරට මේ රටේ තිබුණා. ඒ අනුව දැන් මේ පිරිවෙණෙන් සංඝයා වහන්සේට වගේම ගිහි පක්ෂයටත් විශේෂ සේවාවක් සිදුව තිබෙනවා. මම අදයි දන්නෙ මානවසිංහ මහතා මෙහෙන් අධ්‍යාපනය ලබාගෙන තියෙන්නේ. පිරිවෙන් වලින් තමයි එදා ඒ අධ්‍යාපනය ලබාගෙන තියෙන්නේ.
අද තිස්සමහාරාමයේ ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ මගෙන් මේ ඉල්ලීම කළේ මොකද කියා මම හිතනවා. මොකද ආණ්ඩුවේ තියෙන විෂයන් ඔක්කොම දැන් මාතර ඉන්න මේ මන්ත්‍රීවරු තුන්දෙනා අතර බෙදිලා තියෙන්නේ. කෙසේ හෝ ඒ අය සියලු දෙනාගේ සහයෝගය ඇතිව අපි මේ වැඩකටයුතු ඉදිරියට ගෙනිහිල්ලා මහා මන්තින්ද පිරිවෙණ දියුණු කරන්න වුවමනායි.
අනෙක් වැඩසටහන් වලටත් අපේ සහයෝගය තියෙනවා කියලා අපි කියන්න කැමැතියි. විශේෂයෙන් එදා කැලණිය පන්සලේ හිටපු විජිත ස්වාමීන්වහන්සේ උදව් කළා. බියගම දෙල්ගොඩ ප්‍රදීපාරාම පිරිවෙණේ අපේ නුවරහේනෙ ජෝතිපාල හාමුදුරුවෝ අඩුපාඩුවක් තියෙනවානම් කෙලින්ම මගේ කාර්යාලයට එනවා. අනෙක් පැත්තෙන් අපේ ගංගාරාමෙ පොඩි හාමුදුරුවො කෝල් එකක් දෙනවා. කොහොමහරි ඔතනින් තමයි මමත් පිරිවෙන් ගැන වැඩකරන්න ඉගෙනගත්තේ.
1980 ඉදන් පිරිවෙන් පතන ක්‍රියාත්මක වුනා. ඒක ලොකු කාලයක්. මේකෙ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අද සමාජයත් සම්පූර්ණ වෙනස්වෙලා. අපේ දැනුම වෙනස්වෙලා. එදා කිව්වනම් අපිට වෙබ් අඩවියක් තියෙනවා කියල අපිට හිනාවෙයි. අද අපි වෙබ් අඩවියත් විවෘත කළා. මේ පරිවර්තනය ඇතිවු අවස්ථාවේ අපේ ආගම්වල තියෙන ඒ පරිවර්තනය කුමක්ද?
මහා නායක ස්වාමීන්වහන්සේ කළ යෝජනාවට මම එකඟවෙනවා. අනෙකුත් මහා නායක ස්වාමීන්වහන්සේලා සමගත් සාකච්ඡාකර අධ්‍යාපන ඇමතිතුමාට කියන්නම් ඔබවහන්සේලාගේ නම් අරගෙන හොද දැනුම තියෙන ගිහි පැවිදි අයගෙන් අපි කොමිටියක් පත්කර මේ නීතියට රෙගුලාසි වලට වුවමනා සංශෝධන හදන්න. මොකද අඩුපාඩුකම් රාශියක් තියෙනවා. අපිට එතනින් ඉවත්වෙන්න බෑ. අපි ඒ අඩුපාඩුකම් පිළිඅරගෙන මේකට වුවමනා නීති සාකච්ඡාකර දේශපාලන භේදයකින් තොරව මේ වැඩකටයුතු කරගෙන යන්න ඕනෑ. මොකද පිරිවෙන් කියන්නේ පැරණි අධ්‍යාපන ආයතන. මහා පිරිවෙණේ සිට ආපුවා. අපි ආරක්ෂා කළ යුතුයි.
අපි සංඝයා වහන්සේට ලෝකෙ වටේ ගිහින් ධර්මය බෙදන්න අවශ්‍ය භාෂා දැනුම ලබාදීමත් අවශ්‍යයි. පිරිවෙන්වලත් අපි අධ්‍යාපනය ලබන්නේ බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මය. උන්වහන්සේගේ ධර්මය අනුව අපේ පැවිදි සංඝයා වහන්සේට පමණක් නොවෙයි ගිහි අයත් මේ තුළින් ජීවිතය සකස්කර ගන්න ගෙන තියෙනවා. බුදුන්වහන්සේ එදා වදාළ දේ අදටත් බලපානවා. සාමාන්‍ය එදිනෙදා ජීවිතයට පමණක් නොවෙයි වෙළෙඳුන් කොහොමද ක්‍රියාත්මක කරන්නේ, ගොවීන් කොහොමද ක්‍රියාත්මක කරන්නෙ සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපග්ග සූත්‍රය වගේ සූත්‍ර ගණනාවක අපි කොහොමද පාලනය කරන්නේ කියා කියා තිබෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය අයට විතරක් නොවෙයි පාලකයන්ටත්. රජෙක්නම් දසරාජ ධර්මය අනුව ක්‍රියාකරන්න තියෙනවා.
අපේ මහා නායක ස්වාමීන්වහන්සේයි ඉන්දානන්ද ස්වාමීන්වහන්සේයි පිරිවෙන් පනත ගැන කතා කළා. ඇත්ත වශයෙන්ම පිරිවෙන් පනත ආරම්භකරන විට නීතියක් තිබුණේ නෑ. ඉස්සෙල්ල අපේ නිශ්ශංක විජේරත්න ඇමැතිතුමාගේ කාලේ යෝජනාව ඇවිත් දියුණු කරනවිට නිශ්ශංක විජේරත්න ඇමැතිතුමා දුන් කෙටුම්පත අරගෙන අපේ ගිහි පැවිදි මණ්ඩලය ඒ වැඩකටයුත්ත ආරම්භ කළා. දැන් රෙගුලාසි හදන්න තියෙනවා. රෙගුලාසි හදන්න නම් පරිවෙන් ගැන දැනගන්න ඕනෑ.
සියම් මහා නිකායේ කෝට්ටේ සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ මහා නායක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ - පිරිවෙන් පනතේ වෙනසක් අවශ්‍යදැයි අගමැති තුමා මගෙන් ඇහුවා. ඔව් පිරිවෙන් පනතේ වෙනසක් අවශ්‍යයි. දැන් තියෙන පනත යල්පැන ගිය එකක්. අපි ඒක වෙනස් කළ යුතුයි. මහා මන්තින්දය පන්සලක් නොවෙයි. විද්‍යාලංකාර මහ පිරිවෙණ, විද්‍යෝදය මහ පිරිවෙන සේම එදා සිට පිරිවෙණක්. පිරිවෙන් වශයෙන් තිබූ ස්ථාන පන්සල් වශයෙන් ක්‍රියාත්මකවූයේ අඩුවෙන්.
මහා මන්තින්දයේ හැම යුගයක්ම දීප්තිමත් යුග නොවෙයි. බැදිගම නායක හාමුදුරුවන්ගෙ යුගයත් කීර්තිමත්. ඒවාගේම ගැටමාන්නේ ධම්මකිත්ති හිමියන්ගෙ කාලයත් එහෙමයි. හොඳ නිර්භීත තීන්දු තීරණ අරගෙන මාතර අභිමානය රටට, ලෝකයට ගෙන ගියා. ඒ යුගය ඉතා හොඳයි. ඒ වාගේම තිස්සමහාරාමයේ ඉන්දානන්ද හිමියන්ගේ ආරම්භයත් හොඳයි. එය ඉදිරියටත් වර්ධනය කර ගත යුතුයි.
අද උදේ කුල දරුවන් සියයක් සසුන්ගත කළා. ඒක ඉතා හොද විශිෂ්ට වැඩක්. පන්සල්වල හිමිවරු සිවුරු අරිනවා, පන්සල් ගෙනයන්න හිමිවරු නෑ. ඒ නිසා හිමිවරු වැඩි වශයෙන් මෙලෙස මහණ කළ යුතුයි.
මාතර මහා පිරිවෙන් විහාරාධිපති තිස්සමහාරාමයේ ඉන්දානන්ද හිමි - අද අපේ පිරිවෙණේ උපන් දිනය සමරණ දවස. මේ මහා පිරිස පැමිණ සිටින්නේ ඒ සඳහායි. බැදිගම සිරි රතනපාල නාහිමි එදා ප්‍රදේශයේ හිටපු ප්‍රභූන් හෙවත් මන්ත්‍රීවරු එකතුකරගෙන මෙය ආරම්භ කළා. මන්ත්‍රීවරු ආරම්භ කළ නිසයි මන්තින්දය කියා නම දැම්මේ. 1979 තමයි පිරිවෙන්වල උගන්වන පිරිස පිරිවෙන් ගුරුවරුන් ලෙස නම් කළේ. ඒ පිරිවෙන් පනතත් එක්කයි. පිරිවෙන් පනත ඉදිරිපත් කළේ අපේ අගමැතිතුමා. ඉතිං එතුමා ආරම්භ කළ ඒ පනතේ අද වෙනසක් අවශ්‍ය වෙනවා. එය වෙනස් කර නැවත වඩාත් හොඳ ආකාරයෙන් සකසා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
අපේ අගමැතිතුමා හා මගේ නායක හාමුදුරුවෝ, ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමියෝ අතර තිබුණේ පුදුම සම්බන්ධතාවක්. එදා අපේ නායක හාමුදුරුවන්ට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක තනතුර ලැබුණු වේලාවේ ඒක භාරගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුණාට පස්සේ කියලා හිටියා. වසර තුනක් ගතකර තමයි නායක තනතුරු භාරගත්තේ.
මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්, අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහත්වරු ප්‍රමුඛ පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයන්, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.
ගන්දර සමූහ, වැලිගම සමූහ, දෙයියන්දර සමූහ, උෟරුබොක්ක සමූහ
ඡායාරූප - අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය
0 Comments