Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රජය ඇරැඹූ සංවර්ධන සංග්‍රාමයට කිසිදු භේදයකින් තොරව සියලු දෙනාගේම සහාය දෙන්න

Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැති මංගල කියයි

ගම දියුණු කර රට පොහොසත් කරන ජනතාව ජීවත් කරවන රජය ආරම්භ කර ඇති සංවර්ධන සංග්‍රාමයට පක්ෂ ආගම් ජාති භේදයකින් තොරව සියලු දෙනාගේම සහයෝගය ලබාදෙන ලෙස මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන තේමාව යටතේ අපගේ පුරාණ මුතුන් මිත්තන්ගේ සහජ හැකියාවන් යළි පණ ගන්වමින් ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් බවට පත් කිරීම රජයේ අරමුණ බව ද ඇමැතිවරයා කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේ පැවැසූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව් පැවැති ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහනේ ණය යෝජනා ක්‍රම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායික නිපුණතාව ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැ‍ඟීම සඳහා 2018 අය-වැය තුළින් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දෙනු ලැබීය. රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මේ වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිත අතර, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගීතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක මේ වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර, ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

සංකේතාත්මකව ණය පහසුකම් ප්‍රදානය කිරීම මෙහි දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් ඇමැතිවරයා අතින් සිදු කෙරිණි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා,

පසුගිය නොවැම්බර් මාසයේ 2018 වර්ෂය සඳහා අය-වැය යෝජනා ඉදිරිපත් කරමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන තේමාව යටතේ අපගේ පුරාණ මුතුන් මිත්තන්ගේ සහජ හැකියාවන් යළි පණ ගන්වමින් ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසියක් බවට පත් කිරීම අපගේ රජය යටතේ ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් අරමුණ බවයි. මීට පෙර අපි දැකපු වීඩියෝ දර්ශනය අනුව ඉන්දියන් සාගරයේ ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටා තිබුණ අපේ පුංචි ශ්‍රී ලංකාව ඈත ඉතිහාසයේ ඉදලාම එකල ලෝකයේ ප්‍රබල ජාතීන් සමඟ උරෙන් උර ගැටී වාණිජ කටයුතුවල යෙදුන බවට විශාල සාක්ෂි තිබෙනවා. අපේ රට පුරාම ලෝකයේ තිබුණ ක්ලෝඩියස් අධිරාජ්‍යයත් සමඟ චීන අධිරාජ්‍යයත් සමඟ තවත් ඉතාම දියුණු රටවල් සමඟ ගනුදෙනු කළ බවට තානාපති සබඳතා තිබුණු බවට වෙළෙඳාම් කළ බවට ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා.

අද දියුණුයි කියන පළමු ලෝකයේ රටවල් බටහිර ලෝකයේ රටවල් ගල්ගුහාවල ජීවත් වන යුග‍යේ ශ්‍රී ලංකාවේ අපේ තානාපතිවරුන් රෝම අධිරාජ්‍යයට ගිය හැටි ඉතිහාස පොත්වල කියවෙනවා. ගාල්ලේ තිබිලා 1409 කාලයේ කොටපු සෙල් ලිපියක චීන පර්ෂියන් දෙමළ භාෂාවල එකල කළ ලියවිලි අදත් බලා ගන්නට පුළුවන්. මන්නාරම මාන්කුලම වරාය අවුරුදු දහස් ගණනක් පැවතුණු බවට සාක්ෂි තිබෙනවා. විවිධ වර්ගයේ විදේශ කාසි සෙල්ලිපි වළලු වගේ දේවල් ඒ ප්‍රදේශවල හමුවෙලා තිබෙනවා. මේ මාන්තොට වරාය මගින් ශ්‍රී ලංකවේ මුතු මැණික් ඇත් දළ ඊජිප්තුව රෝමය වගේ රටවලට යැවූ බවටත් තොරතුරු තිබෙනවා. ‍

තෝනිගල සෙල් ලිපියෙන් කියවෙනවා මාන්තොට හිටපු වෙළෙඳ කණ්ඩායම් බැංකු ණය පහසුකම් දුන‍්නා කියල. ඒ අනුව අපි අද රැස් වෙලා සිටින්නේ අපගේ ජානවලම තිබෙන එවැනි සහජ හැකියාවන් යළි පණපොවා ගනු පිණිස ඉදිරිපත්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ඔබලාටත් රටටත් හඳුන්වා දීමටයි. ඒ මගින් අප බලාපොරොත්තු වනවා ඉදිරි ආර්ථික වර්ධන පිම්ම ලබා ගැනීමට. මේ රටේ තරුණ වැඩිහිටි සියලු ව්‍යවසායකයන්ට විශාල පිටුවහලක් ලබාදෙන්නට අපි කටයුතු කරනවා.

අප රජයේ එන්ජිම බවට පත් කර ගන්නේත් අපේ රටේ සිටින දක්ෂ ව්‍යවසායකයන්. ඒ අනුව අද දියත් කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඊළඟ වසර කිහිපය යටතේ 2020 වනවිට අලුත් ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකර ගැනීම ඒ වගේම සිටින අය තවතවත් දිරිමත් කර ගැනීම අපගේ ප්‍රධාන අරමුණයි. එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය අපි සැලසුම් කර තිබෙන්නේ අංශ ගණනාවක් ආවරණය වන පරිද්දෙන්. ගොවි ජනතාව ඒ වගේම ධීවර කර්මාන්තයට, පශු සම්පත් නිෂ්පාදනයට, ගෙවතු වගාකරුවන්ට, අත්කම් ඇගළුම් නිෂ්පාදකයන්ට, සංචාරක කෂේත්‍රයේ නියැළී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන හත්සිය පනහ දක්වා ණය ලබාදෙන වැඩසටහන් පහළොවක් මේ තුළින් ක්‍රියාත්මක වෙනවා.

විශේෂයෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසක් විශ්වවිද්‍යාලවලට එසේත් නැත්නම් උසස් අධ්‍යාපනයට ඇතුළුවීමට නොහැකි වීම නිසා විශාල වේදනාවකින් කම්පනයකින් ඉන්නවා. සෑම වසරකදීම විශ්වවිද්‍යාලවලට ඇතුළුවන විසිපන්දහසක ප්‍රමාණයක් වුණත් තව ලක්ෂ ගණනාවක් විශ්වවිද්‍යාල වරම නොලැබී විවිධ දක්ෂතාවන් හැකියාවන් තිබුණත් ඒ අයගේ විශ්වවිද්‍යාල වරම නොලැබීම නිසා අපේක්ෂා භංගත්වයෙන් ඉන්නවා. ඒ අයගේ ව්‍යවසායක සිහිනවලට අතහිත දීමට කවුරුවත් නැහැ කියලා මේ තරුණ තරුණියන් හිතනවා. නමුත් මේ ව්‍යාපාරය හරහා අද ඔවුන්ගේ හැකියාවන් අනුව ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා අප රජය ඉදිරපත් වෙලා තිබෙනවා.

මේ තුළින් ලබාදෙන ණය ආයෝජන පොලිය අපි විශාල වශයෙන් ගෙවනවා. ඒ සඳහා මේ වන ණය ආයෝජන පොලිය රජය විසින් රුපියල් බිලියන පහකට වඩා වෙන්කර තිබෙනවා. අලුත් ව්‍යවසායකයන්ට ස්වශක්තියෙන් නැ‍ඟී සිටිමින් තමන්ගේ ව්‍යාපාර ස්ථාවර තත්ත්වයට ළඟා වෙනකන් සම්පූර්ණ අතහිත අපේ ර‍ජය ඔවුන්ට අපි ලබ‍ාදෙනවා. අපි සැමවිටම කාන්තාවන්ගේ‍ ගෞරවය, මහන මැෂිමක් ලබාදීම, එහෙම නැත්නම් තාච්චියක් ලබාදෙනවා නමුත් අද ලෝකයම පිළිගන්නවා අද කාන්තාවන්ට පිරිමින් හා සම සමව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානවලට යන්න ධෛර්යය හැකියාව ශක්තිය තියෙනවා කියලා.

ඒ නිසා ශ්‍රී ලාකීය කාන්තාවන් දිරිමත් කිරීම සඳහා අපි ඕනෑම ව්‍යාපාරක් සඳහා ඉදිරිපත් වන කාන්තාවන් සඳහා දැනටමත් ලබා දෙන පොලියට තවත් සියයට දහයක සහනයක් ලබාදෙනවා. රණවිරුවන් ඇතුළු ආබාධිතයන්ටත් අපි ලබාදෙන සහන පොලියට තවත් සියයට දහයක සහනයක් ලබාදෙනවා. මෙතෙක් කල් කොයි තරම් හොඳ ව්‍යවසායකයන් බැංකුවට ගියාම කොයි තරම් හොඳ ව්‍යාපෘති වාර්තා අරන් ඔවුන්ට සුදුසු ඇපකාරයෝ නැත්නම් ඔවුන්ට සුදුසු ණයක් ගන්න බැහැ. සාමාන්‍ය තරුණයෙක් තරුණියෙක් කොයි තරම් හොඳ ව්‍යාපෘති වාර්තාවක් එක්ක බැංකුවට ගියත් ඇපකරුවන් නැත්නම් ඒ අය ගණන් ගන්නෙත් නැහැ. අඩුම ගණනේ ව්‍යාපෘති වාර්තාව දිහා බලන්නේවත් නැහැ. ආපහු හරවලා එවනවා.

අන්න ඒ නිසා තමයි අපි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර ‍මහජන බැංකුව එක්ක සාකච්ඡා කර ලංකා බැංකුව ඒක්ක සාකච්ඡා කර, සංවර්ධන බැංකුව එක්ක සාකච්ඡා කර අපි මේ වෙන කොට ඒ බැංකු සමඟ මේ සංකල්පය ක්‍රියා කරන්න කටයුතු කළා. මීට සති දෙකකට ඉස්සෙල්ලා අරලියගහ මන්දිරයට හැම බැංකුවම සියලුම බැංකු ශාඛාවල හැම අස්සක් මුල්ලක් නෑර එක නිලධාරියෙක් ගෙන්නලා මේ අයට අපි උපදෙස් දුන්නා හැම බැංකුවකම එන්ටර්ප්‍රයිටස් ඩෙස්ක් එකක් තියෙන්න ඕන ඒ වගේම එතනට මේ සඳහා එන තරුණ තරුණියන් කවුරු වුණත් එන ව්‍යවසායකයන් පිළිගන්න මේ සඳහා රිලේෂන් ෂිප් මැනේජර් කෙනෙක් පත් කරන්න ඕන. ඒ හරහා මේ ව්‍යවසායක සිහින තියෙන අයට විශාල හයියක් වෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මින් ඉදිරියට රාජ්‍ය බැංකු තුනට තමන්ගේ ව්‍යාපාරික වාර්තාව පෙන්වලා අදාළ ණය ලබාගන්න කටයුතු කරන්න පුළුවන්.

ඊට පසු අනෙකුත් පෞද්ගලික බැංකුත් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ක්‍රමයට ඇතුළු වෙයි කියා මම විශ්වාස කරනවා. මේ වැඩසටහනට සමගාමීව අපි ගම්පෙරළිය නමින් කඩිනම් ග්‍රාම සංවර්ධන වැඩපිළිවෙළකුත් හඳුන්වා දෙනවා. සාමය සඳහා වූ සංග්‍රාමය තුළින් මුළු රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්ත ත්‍රිවිධ හමුදාව සහ පොලිසියත් එකතු කර ගනිමින් අපි සාමය සඳහා වූ සංග්‍රාමයකට ලෑස්තියි. අපි මහා සංවර්ධනය සඳහා වූ සංග්‍රාමයකට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අපේ රජයත් ලෑස්තියි.

රට සංවර්ධනය කරන ජනතාව ජීවත්කරවන ජනතාව නඟා සිටුවන යුද්ධයකට අපි ලෑස්තියි. ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන ග්‍රාම ශක්ති වැඩපිළිවෙළත් ඒ වගේම අගමැතිවරයා විසින් රට පුරාම ක්‍රියාත්මක කරන ග්‍රාමීය මාර්ග අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙළත් ඇතුළු වැඩපිළිවෙළ රාශියකුත් එක් රැස් කරගෙන අපි මේ සංවර්ධන වැඩපිළිවෙළ මේ ජුලි මාසේ පළමුවැනිදා සිට තවත් ශක්තිමත්ව තවත් වේගවත්ව ඉදිරියට ගෙන යන්න සූදානම්. අපි මේ වසරට ගම්පෙරළිය වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන හැට හතරක් වෙන්කරලා තිබෙනවා. මේ තුළින් ශ්‍රී ලංකාවේ තිබෙන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් බිලියන දෙසීයක නිශ්චිත කාර්යන් සඳහා ලබා දෙනවා. ඒ වගේම අංශ දොළහක් යටතේ ගම්වල සංවර්ධනය දියත් කරනවා. මේ යටතේ වැව් හාරදහසක් මීළඟ වසර දෙකේ දී සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්සකරණය කරලා සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැව් අලුත්වැඩියා කිරීම මොනරාගල දිස්ත්‍රික්කයේ සාකච්ඡා කරලා ආරම්භ කරන්නට නියමිතයි.

ඒ වගේම සතිපොළ නවීකරණය කිරීම හැමදෙනාටම අමතක වූ පුංචි පන්සල්, පුංචි මුස්ලිම් දේවස්ථාන, කෝවිල්, පල්ලි අලුත්වැඩියා කරන්න හැම කොට්‍ඨාසයකටම ලබාදෙන්න ලෑස්තියි. එපමණක් නොවෙයි ගම්පෙරළිය හරහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨා‍සයකටම හරිත උද්‍යානයක් ලැබෙනවා. වයිෆයි සහිත උද්‍යානයේ තරුණ වැඩිහිටි සැමට පාවිච්චි කරන්න පුළුවන් ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආගමික හා අධ්‍යාපනික කටයුතු යෝගා භාවනා වැනි දේ කරන්න පුළුවන් බිල්ඩිමක් අපි ලබාදෙනවා. ඒ එක්කම හැම මධ්‍යස්ථානයකම ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් උපදේශකයකුත් ඉන්න කාමරයක් අපි ඇති කරනවා. එපමණක් නොවෙයි ගම්පෙරළිය වැඩසටහන අපි පසුගිය දා මොනරාගල දී හඳුන්වා දුන්නා.

ඒ අනුව ගම්පෙරළිය මූලික වැඩසටහනක් හැටියට ජුලි මාසේ පළමුවැනි දා සිට මුළු මොනරාගල දිස්ත්‍රික්කයේ වැසිකිළි නොමැති පවුල් විසිපන්දහසක් ඉන්නවා කියා අපේ ඇමැතිවරයා අපිට පෙන්වා දුන්නා ඒ විසිපන්දහස සම්පූර්ණ කරන්න අපි රුපියල් මිලියන විසිපන්දහසක් වෙන්කරලා ඒ කටයුතු පළමුවැනිදා වෙ‍නකොට ආරම්භ කරන්න සූදානම් බවට දිසාපතිවරිය අපිට දැනුම් දුන්නා. මෙන්න මේ විදියට මේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් අපි හඳුන්වා දෙනවා. මේ වැඩපිළිවෙළට නායකත්වය දෙන මඟ පෙන්වන අපගේ ජනාධිපතිවරයාටත් අපගේ අගමැතිවරයාටත් මේ රටේ ජනතාව අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමන්න ඕන. ගම දියුණු කරලා රට පොහොසත් කරන මේ ර‍ජයේ ජනතාව ජීවත් කරන අද මේ ආරම්භ කරන සංවර්ධන සංග්‍රාමයට පක්ෂ ආගම් ජාති භේදයකින් තොරව ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන්, රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල උසස් නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();