මල්වතු මහා නා හිමියෝ පවසති
එකක් ඉවර වෙන විට තවත් එකක් ලෙස දිගින් දිගට පැවැත්වෙන වර්ජන හේතුවෙන් පීඩාවට පත්වන්නේ සාමාන්‍යය ජනතාව බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.
වර්ජන වලදී රජය සහ වර්ජකයින් යන දෙපාර්ශ්වයම කිසියම් ආකාරයකට නම්‍යශීලී නොවුණහොත් ප්‍රශ්න වලට විසඳුම් සෙවීම අසීරු බවද උන්වහන්සේ කීහ.
මල්වතු මහනාහිමියන් එසේ පැවසුවේ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් ඊයේ (24) පෙරවරුවේ මල්වතු මහ විහාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.
එම පෙරමුණේ කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා විසින් තැපැල් වර්ජනයට හේතු සඳහන් කළ ලියවිල්ලක්ද මෙහිදී මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පිළිගැන්වූහ.
මේ තැපැල් වර්ජනය හේතුවෙන් පමණක් නොව සෑම වර්ජනයක් මගින්ම අවසානයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ සාමාන්‍යය ජනතාව බවද මහනාහිමියෝ අවධාරණය කළහ.
ගැටලුවට සම්බන්ධ දෙපාර්ශ්වයම දැඩි ස්ථාවරයක් පිහිටා ගැටලු වලට විසඳුම් සෙවිය නොහැකි බවත් දෙපාර්ශ්වයම කැපකිරීම් කරමින් එකඟතාවට පැමිණෙන්නේ නම් ප්‍රශ්න මෙතරම් දුරදිග නොයන බවත් උන්වහන්සේ පැවසූහ.
මෙහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා මේ තැපැල් වර්ජනය හේතුවෙන් සාමාන්‍යය ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බවත් මුදල් ඇති පිරිස් පමණක් කුරියර් සේවා මගින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගන්නා බවත් පැවසුවේය.
0 Comments