අගමැති කියයි
හිට්ලර්, ඉඩි අමින්, පොල්පොට් වැනි චරිත ලක්ෂණ ඇති පාලකයන් සම්බන්ධව බුද්ධ දේශනාවේ සඳහන් වී නැතැයිද පාලකයෙක් දස රාජ ධර්මය අනුව රට පාලනය කළ යුතු බවට දේශනා කර ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මාතර, අකුරැස්සේදී මහා මන්තින්ද පිරිවෙනට වසර 125 ක් පිරීම නිමිත්තෙන් පෙරේදා (23) එම විහාරස්ථානයේ පැවැති උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එහිදි අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කීය. පාලකයන් රට පාලනය කළ යුත්තේ කෙසේදැයි බුදු රජාණන් වහන්සේ සූත්‍ර ගණනාවකදී දේශනා කර තිබෙනවා. රජතුමෙක් නම් දස රාජ ධර්මය අනුව කටයුතු කළ යුතු බවත්, ලිච්ඡවී පාලනය පිළිබඳවත් දේශනා කළා. එම නිසා ප්රජාතන්ත්රවාදී රටක් ලෙස අප ඒ ආකාරයට ක්‍රියා කළ යුතුයි.
තම ජනතාව මරන්න යැයි බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක පාලකයන්ට දේශනා කළේ නැහැ. බුදු දහම ඊට විරුද්ධ දහමක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට උදාහරණ ලෙස ධර්මාශෝක රජතුමා හැඳින්විය හැකියි. බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී රජදරුවන්ට දේශනා කළේ විවිධ මත ගරු කරන්න විටින් විට රැස්වෙන්න. සාමයෙන් රැස්වී සාකච්ඡා කරන්න, සාමයෙන් විසිර යන්න ලෙසයි. ප්රජාතන්ත්රවාදී පාලනයක් ගෙන යන්නේ ඒ ආකාරයටයි. පාලකයෙක් හිට්ලර් කෙනෙක් විය යුතු යැයි බුදු රජාණන් වහන්සේ කිසිවිටෙකත් දේශනා කළේ නැහැ. නමුත් පාලකයෙක් ඉඩි අමින් වාගේ හෝ පොල්පොට් හෝ හිට්ලර් වාගේ විය යුතු යැයි පැවසිය නොහැකියි. එවැනි මත අප හෙළා දැකිය යුතුයි.
එවැනි ප්‍රකාශයක් මා ඉදිරියේ කවුරුන් හෝ කළා නම් මම ඒ මොහොතේදීම එය හෙළා දකිනවා. එමෙන්ම මම ඉන්නා තැනක එය පැවසූවා නම් අද ජනමාධ්‍ය මාව විනාශ කරනවා. උදේ සිට රාත්‍රි වනතුරු මාධ්‍යයෙන් මට පහර දේවී. රනිල් වික්‍රමසිංහ කළේ කුමක්දැයි ජනතාවගෙන් විමසාවි. මේ සිද්ධියේදී ඒ ආකාරයට සිදුනොවුණේ මන්දැයි මා පුදුම වෙනවා. එම පුවත පළ වුණේ එක් පුවත් පතක පමණයි. විද්‍යුත් මාධ්‍ය මගින් එය එකවරක් පමණක් ප්‍රචාරය වුණා. නමුත් මෙවැනි දෙයක් අප කළා නම් ඔවුන් මහා මාර්ගයේ ගමන් කරන මිනිසුන්ගෙනුත් අදහස් විමසා විකාශය කරන තත්ත්වයකට පත් වෙනවා. නමුත් මේ සිද්ධිය මාධ්‍යය එතැනින් අවසන් කළා.
හිට්ලර් පාලනයක් ගෙන ආ යුතු බවට කෙරුණු ප්‍රකාශය සම්බන්ධව රටේ ඇතැම් ජනමාධ්‍ය නිහඬ පිළිවෙතක් අනුගමනය කළා. එම අවස්ථාවේදී මුද්‍රිත මාධ්‍යයෙන් ඡායාරූපකරුවන් ගණනාවක් සිටියත් පුවත් පත් වාර්තා රහත් වුණා. දැන් තත්ත්වය එසේ නම් හිට්ලර් කෙනෙක් බලයට පත්වූ පසු මාධ්‍යයට කුමකින් කුමක් වේවිද?
අපි ශිෂ්ඨාචාරවත් සමාජයක්. එම ශිෂ්ඨාචාරය අප ඉදිරියට ගෙන යා යුතුයි. ලෝකය අපට ගරු කරන්නේ ඒ නිසයි. බුදු දහමේ බලපෑම නිසා අපට ප්රජාතන්ත්රවාදය ඉදිරියට ගෙන යාමට හැකි වුණා. රටේ ගැටළු තිබුණා. අපේ බලතල, අයිතිවාසිකම් සිමා වුණා. සමහරු සියම් නිකාය මල්වතු පාර්ශ්වය බිඳදමන බව පැවසුවා. නමුත් ඒවා ඉටු කිරීමට ඉඩ ලැබුණේ නැහැ. ඒ අප බුදුන් වහන්සේගේ ධර්මය අනුව ක්‍රියා කරන නිසයි.
0 Comments