* කඳු ශූරයා ප්‍රංශයෙන් : ස්ප්‍රින්ට් ශූරයා කසකස්තානයෙන්
* ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයා රමේෂ් විරාන්
ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ සංවිධානත්වයෙන් නැඟෙනහිර වෙරළේ පාසිකුඩා සිට බටහිර වෙරළේ මීගමුව දක්වා කිලෝ මීටර 331.1ක දුර ප්‍රමාණයක අදියර තුනකින් පැවැති ‘ශ්‍රී ලංකා T – Cup’ ජාත්‍යන්තර පාපැදි තරගය ජයග්‍රහණය කිරීමට ජපානයේ කිනන් පාපැදි කණ්ඩායමේ යසුහරු නකාජිමා සමත් විය.
පැයට කිලෝ මීටර 42.72ක කාලයක් වාර්තා කළ නකාජිමා සමස්ත තරගය නිම කිරීමට ගත් කාලය පැය 7යි මිනිත්තු 45යි තත්පර 3කි. කසකස්තානයේ විනෝ-අස්ටානා මෝටර්ස් කණ්ඩායම නියෝජනය කළ ස්ටෙෆාන් අස්ටෆ්යෙව් (7:45:4) දෙවැනි ස්ථානයද, ජපානයේ උකියො කණ්ඩායමේ යොෂිමිට්සු හිරාට්සුකා (7:45:19) තෙවැනි ස්ථානයද හිමිකර ගත්හ.
දින තුනක් තිස්සේ පැවැති තරගයේ දක්ෂතම ශ්‍රී ලංකා පාපැදි තරගකරුවා වූයේ ජාතික කණ්ඩායමේ රමේෂ් විරාන් ය. සමස්ත තරගයේ ඔහු වාර්තා කළ කාලය පැය 8යි මිනිත්තු 2යි තත්පර 17ක් විය. ප්‍රංශයේ ජූලියන් අමදෝරි සමස්ත තරගයේ ‘කඳු ශූරයා’ වූ අතර කසකස්තානයේ ස්ටෙෆාන් අස්ටෆ්යෙව් (සමස්ත තරගයේ දෙවැනියා) ‘ස්ප්‍රින්ට්’ ජයග්‍රාහකයා විය.
මහනුවර සිට මීගමුව දක්වා ඊයේ පැවැති තරගයේ තෙවැනි හා අවසන් අදියර ජය ගත්තේ මලයාසියාවේ මොහොද් හරිෆ් සලේ ය. ඔහු පැය 2යි මිනිත්තු 44යි තත්පර 36කින් තරගය නිම කළ අතර කසකස්තානයේ ස්ටෙෆාන් අස්ටෆ් (2:44:36) දෙවැනි ස්ථානය හිමි කර ගත්තේය. ජපානයේ යසුහරු නකාජිමා (2:44:36) තෙවැනි ස්ථානයට පත්විය.
පළමු අදියර ජය ගත් යසුහරු නකාජිමා තමන්ගේ කහ ජර්සිය තරගය අවසානය දක්වාම රැක ගැනීමට සමත් විය. පෙරේදා පැවැති තරගයේ දෙවැනි අදියරේ නකාජිමා ට හිමි වූයේ 6 වැනි ස්ථානය වූවද එදින තරගය අවසන් වන විටද සමස්ත තරගයේ කාලය අතින් ඔහු සිටියේ ඉදිරියෙනි. කසකස්තානයේ යෙව්ගෙනි නෙපොම්නියාච්චි දෙවැනි අදියරේ ජයග්‍රාහකයා වූ අතර කසකස්තානයේ ම අමාන් කමිෂෙව් දෙවැනි ස්ථානයත්, ඔස්ට්‍රේලියාවේ නිකලස් වයිට් තෙවැනි ස්ථානත් හිමි කර ගත්හ.
ඊයේ තරගයේ කිලෝ මීටර 12ක් ගෙවෙද්දීම නික් මිලර් (නවසීලන්තය), ලෝගන් ග්‍රිෆින් (නවසීලන්තය), වික්ටර් ඔකිෂෙව් (කසකස්තානය), නිකලස් වයිට් (ඔස්ට්‍රේලියාව), සියොකියුන් හම් (කොරියාව) හා නුර් මසුකි (මලයාසියාව) යන ක්‍රීඩකයන් සෙසු තරගකරුවන්ගෙන් මිදී වේගයෙන් ඉදිරියට ඇදී ගියහ. කිලෝ මීටර 24ක් සම්පූර්ණ වෙද්දීත් පෙරමුණේ සිටියේ මේ ක්‍රීඩකයන් 6 දෙනාය.
තරගය දංකොටුවට පිවිසෙන විටත් ඉදිරියෙන් සිටි ඔකිෂෙව්, වයිට්, හම් සමග ප්‍රංශයේ ස්ටෙෆාන් පෝල්හයිස් කොච්චිකඩේට පැමිණෙන තෙක්ම තරගයේ ඉදිරියෙන් සිටි අතර දළුවකොටුව හංදිය පසු කරන විට විශාල කණ්ඩායමක් මේ සිවු දෙනා ලුහුබඳිමින් සිටියහ. පෙරියමුල්ල හංදියේදී මේ සියළු තරගකරුවන් එක පොකුරකට එක්වූහ. ශ්‍රී ලංකාවේ අවිශ්ක මෙඩන්සා මේ පොකුරෙන් ගැලවී මීටර 10ක් පමණ ඉදිරියට ගියද කොප්පර හංදියේදී ඔහු අල්ලා ගැනීමට තරගකරුවන් පොකුර සමත් විය.
තරගයේ ජය රේඛාවට මීටර 100ක් පමණ තිබියදී වේගයෙන් පාපැදි ධාවනය කිරීමට ගත් උත්සාහයේදී කොරියාවේ යියොන්වූ යූ හා යියුන්සියොන්ග් ජුන්ග්, ඔස්ට්‍රේලියාවේ කැමරන් ලේටන්, කසකස්තානයේ ආමන් කමිෂෙව් හා පිලිපීනයේ ජොනෙල් කාකුවා එකිනෙකා සමග ගැටී නරඹන්නන් අතර පතිත වූහ. මෙයින් කාකුවා මීගමුව රෝහලට ගෙන ගිය අතර අනෙක් ක්‍රීඩකයන් සිවු දෙනා තරගය නිම කළහ.
තරගයේ ‘කඳු ශූරයා’ වූ ප්‍රංශයේ ජූලියන් අමදෝරි ඊයේ තරගය ආරම්භයේදීම ඔහුගේ පාපැදිය කැඩී යාම හේතුවෙන් පසුපසට ගියද පාපැදිය සකසා ගෙන තරගයේ ඉදිරියට ඒමට උත්සාහ කළ ආකාරය කැපී පෙනුණු සිද්ධියක් විය. එහිදී ඔහුගේ කළමනාකරුවන් විසින් ඔහුගේ කණ්ඩායමේ තරගකරුවන් තිදෙනෙක් පසුපසට යවා අමදෝරි ඉදිරියට ගෙන ඒමට දැඩි වෙහෙසක් දැරුවද ඉදිරියේ තරගකාරිත්වය වැඩි වී තිබීම නිසා තරගයේ අවසානය දක්වාම පළමු පොකුරට එක් වීමට නොහැකි විනි. ඔවුන් තරගය අවසන් කළේ දෙවැනි පොකුරෙනි.
ඊයේ තරගයේ අවසානයේ පසු පොකුර හා ඉදිරි පොකුර එක පොකුරක් වී තරගය අවසන් කළ අතර ශ්‍රී ලංකාවේ විරාන් රමේෂ්, ජනක හේමන්ත කුමාර, බුද්ධික වර්ණකුලසූරිය, සන්ජු ඩීමන්ත, ලහිරු මධුශංක හා අවිශ්ක මැඩොන්සා ද පළමු පොකුරට වී තරගය අවසන් කිරීමට සමත් විය.
ත්‍යාග ප්රදානෝත්සවය පැවැත්වීමට නියමිතව තිබූ මීගමුව නගර සභා ශ්‍රවනාගාරයේ වායුසමීකරණ යන්ත්‍රයක් ගිනි ගැනීම හේතුවෙන් ත්‍යාග ප්රදානෝත්සවය පැවතියේ එම ගොඩනැගිල්ලට ඉදිරියෙන් තිබෙන උද්යානයේදීය. මීගමුව නගරාධිපති දයාන් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකන් හොලිඩේස් කළමනාකරු ගයාන් පීරිස්, ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එන්.කරුණාරත්න යන මහත්වරු විශේෂ අමුත්තන් ලෙස සහභාගි වූහ.
0 Comments