Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මුල් කරගෙන ගම නඟාසිටුවනවා

මේ රටේ පරිපාලනයේ වැදගත්ම ස්ථානය වන්නේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයයි. බිම් මට්ටමට රාජ්‍ය සේවය ගලා යාම සිදුවන්නේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය හරහායි. කිසියම් විදිහකින් මෙම කාර්යාල අක්‍රීය වුවහොත් බිම් මට්ටමේ සේවාවන් සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙනවා. ඒනිසා, වජිර අ‍බේවර්ධන අැමැතිවරයා කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවලත් කාර්යාල ඉදිකර පරිපාලන සේවය ශත්කිමත් කිරීම ගැන ඔහුට ස්තුති කළ යුතුයි.

අපේ ආණ්ඩුවට සංවර්ධන වැඩසටහනක් ගෙන ගියත් මේ සියල්ල නොදැක්කා ‍මෙන් කිසිවක් කළේ නෑ කියලා සමහරු චෝදනා කරනවා. බෙර ගසා ප්‍රචාර කිරීම වෙනුවට වැඩ කිරීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. ඒ නිසා අපි කළ දේවල ප්‍රතිඵල එනකොට බෙර ගහන්න පුළුවන් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04 දා) මිල්ලනියේදි පැවසුවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහා රුපියල් ලක්ෂ 420 ක වියදමින් ඉදි කෙරුණු නව ශ්‍රවණාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වු රනිල් ව්‍ක්‍රමසිංහ මහතා මෙසේද පැවසුවේය.

අද මිල්ලනියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැඟිල්ල විවෘත කළා. ඒ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 05 ක් වියදම් ලැබිල තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පහසුකම් වැඩි කරනු ලැබුවේ මිල්ලනිය නගරයේ යටිතල පහසුකම් ගොඩනැඟීමේ වැඩපිළිවෙළ යටතේයි. මෙලෙස ප්‍රාදේශිය ලේකම් කාර්යාල ගණනාවක් සඳහා මේ ආණ්ඩුව අලුත් ගොඩනැඟිලි ලබාදීම සිදුකර තිබෙනවා. මං හිතන්නෙ වසර ගණනාවකට පස්සෙයි මේ විදිහට නව ගොඩනැඟිලි ලබාදී ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශක්තිමත් කිරීම කෙරෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රවණාගාර උවමනායි. ඒ ශ්‍රවණාගාර මේ අලුත් ගොඩනැඟිල්ල සමඟ ලබාදි තියෙනවා.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අජිත් පෙරේරා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභාවක් බවට පත් කර තිබෙනවා. වර්තමානයේ මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, ප්‍රාදේශීය සභාවත් එක මායිමේ පිහිටා තිබෙනවා. අනාගතයේ අපි සැලැසුම් කර තිබෙන වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීමට නම් එය ඉතා වැදගත්. අපේ ආණ්ඩුව යටතේ ඉදිවෙන ශීඝ්‍ර කර්මාන්තකරණයේ එක් කේන්ද්‍රස්ථානයක් ලෙස මිල්ලනිය හැඳින්විය හැකියි. එය කර්මාන්ත කලාපයකට පමණක් සීමා වන්නේ නැහැ. මේ ප්‍රදේශයට මහා මාර්ග පද්ධතියක් අවශ්‍යයි. පානීය ජල පහසුකම් සඳහා ජල නල පද්ධතියක් අවශ්‍යයි. නව විදුලි බල පද්ධති මේ ප්‍රදේශයට අවශ්‍ය වෙනවා. එසේ නම් මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හරහා සම්බන්ධීකරණය කළ යුතු වැඩ කටයුතු රාශියක් ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.

මෙම වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ඇමැතිවරයා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාවත් අතර සම්බන්ධතාවයක් තිබිය යුතුයි. එවැනි සම්බන්ධතාවයක් නොමැතිව කඹ ඇදීමකට සැරසුණොත් අප බලාපොරොත්තු වන දියුණුව මේ ප්‍රදේශයට ගෙන ඒමට නොහැකි වෙනවා. එම නිසා සියලූ දෙනා එක්ව වැඩ කළ යුතුයි.

මම එදා බියගම සංවර්ධනය ආරම්භ කරන විට එම ප්‍රදේශයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හෝ තිබුණේ නැහැ. එහි වෙළෙඳ කලාපයක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ආරම්භ කිරීමට අපි පියවර ගත්තා. වෙළෙඳ කලාපය හරහා ඒ ප්‍රදේශය විශාල නාගරීකරණයකට ලක්වූ අතර එම ප්‍රදේශය පාලනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විශාල සේවාවක් ඉටු කළා. එදා 42,000 ක පමණ ඉතා අඩු ජන සංඛ්‍යාවක් පදිංචිව සිටි එම ප්‍රදේශයේ අද වන විට තුන් ගුණයකින් පමණ එම ජනගහනය වැඩි වී තිබෙනවා. ඉදිරි වසර 15 තුළ මේ ප්‍රදේශයේ සිදු වන්නේ එයම බව මම ඔබට පවසනවා.

ඉදිකිරීමට යෝජිත අධිවේගී මාර්ගයත් මෙම ප්‍රදේශය හරහා වැටී තිබෙනවා. එම නිසා මෙහි වෙළෙඳ කලාපයක් ඇති කිරීමට අජිත් පෙරේරා ඇමැතිතුමා කළ යෝජනාව ඉතා ප්‍රයෝජනවත් බව පැවසිය යුතුයි. මම වෙළෙඳ කලාප ඇති කිරීමට ප්‍රදේශ සොයමින් සිටින අවස්ථාවේ එතුමා පැමිණ මේ ප්‍රදේශයට වෙළෙඳ කලාපයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළා. බණ්ඩාරගම ආදී ප්‍රදේශ නාගරීකරණයකට ලක්ව ඇති අතර එහි බොහෝ ජනයා රැකියා කරන්නේ අග නගරයේයි. නමුත් මිල්ලනිය වැනි මෙම ප්‍රදේශ තවමත් සැලකෙන්නේ ග්‍රාමීය ප්‍රදේශ ලෙසයි. එම නිසා මේ ප්‍රදේශයට වෙළෙඳ කලාපයක් අවශ්‍ය බව එතුමා මට පැවසුවා.

අරලියගහ මන්දිරයේ පැවැති කමිටු රැස්වීම්වල දී එතුමා මේ පිළිබඳව තර්ක කළ ආකාරය මට සිහිපත් වෙනවා. මේ ප්‍රදේශයේ විශාල කර්මාන්ත කලාපයක් ඇති කිරීමේ අවස්ථාවක් ඇති බව එතුමා එහිදී අපට පෙන්වා දුන්නා. ඉන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් මීට සම්බන්ධ වුණා. ඒ අනුව තායිලන්තයේ කර්මාන්ත කලාප පවත්වා ගෙන යන සමාගමක් වන රෝචන සමාගම සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිතුමාගේ සහයෝගය මත මෙම ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට එකඟ වුනේ. රෝචන සමාගම මේ ප්‍රදේශයට පැමිණ මෙම ප්‍රදේශයේ ඇති ගැටලූ කිහිපයක් පිළිබඳ අමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. අමාත්‍යවරයා ඒවාට සාර්ථකව පිළිතුරු ලබා දුන්නා. එම නිසා මෙහි වෙළෙඳ කලාපයක් ඇති කිරීමේ වැඩ කටයුතු ආරම්භ කිරීමට රෝචන සමාගම දැන් එකඟතාව පළ කර තිබෙනවා.

වෙළෙඳ කාලපය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය මාර්ග පද්ධතිය සැකසීමේ වැඩ කටයුතු අප දැන් සිදු කරමින් සිටිනවා. ඉඩම් අත්පත් කර ගත් ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීමේ යුතුකමත් අප ඉතා ඉක්මනින් ඉටු කරනවා. මේ වන විට රෝචන සමාගම සමගින් අප අවසන් ගිවිසුම් සකස් කරමින් සිටිනවා. එම ගිවිසුම්වල වැඩ කටයුතු අවසන් වූ පසු මෙම වසරේ ජුනි - ජූලි මාසයන්වල දී වෙළෙඳ කලාපයේ වැඩ කටයුතු ආරම්භ කරනවා.

අක්කර 450 ක විශාලත්වයකින් යුතු මෙම කර්මාන්ත කලාපය තුළ කර්මාන්ත 100 ක් ආරම්භ කිරීම අපහසු කටයුත්තක් නොවෙයි. අති විශාල කර්මාන්ත ශාලා නම් 50 කට ආසන්න සංඛ්‍යාවක් ආරම්භ කළ හැකියි. මෙම කර්මාන්ත කලාප හරහා ලැබෙන දියුණුවේ ප්‍රතිඵල අපට ලබාගත හැකි වන්නේ ඉදිරි වසර 10 තුළයි. එම සමාගම්වලට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් ලාභ ඉපැයීමයි. ලාභ ලබා ගැනීමට නම් ඔවුන් වැඩි වැඩියෙන් සමාගම් ගෙන්වා ගත යුතුයි. එසේ නම් කර්මාන්ත ශාලා වලින් ඉදිරියේ දී මේ ප්‍රදේශය පිරී යනවා.

ඒ වගේම හොරණ රබර් කර්මාන්ත ශාලාවට 5000 ක පමණ සේවක පිරිසක් බඳවා ගැනීමට නියමිත බව ඔවුන් පවසා තිබෙනවා. එසේ නම් සියලූ ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම කර්මාන්ත කලාපය ඇති වෙනවා. රත්මලානේ පිහිටා තිබෙන කර්මාන්ත ශාලාත් මෙම ප්‍රදේශයට ගෙන එනවා. එසේ නම් අජිත් පෙරේරා ඇමැතිතුමා මේ ප්‍රදේශයට විශාල කර්මාන්තකරණයක් ආරම්භ කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම කලූතර ප්‍රදේශයේ මේ වන විට කර්මාන්තකරණයක් ඇති වී නැහැ. කළුතර ඒ.එම්.ඩබ්ලිව් සමාගමත් තවත් සමාගම් කිහිපයකුත් හැර වෙනත් විශාල කර්මාන්ත ශාලා එහි පිහිටා නැහැ. හොරණ ප්‍රදේශයේත් කුඩා කර්මාන්ත ශාලා කිහිපයක් තිබෙනවා. නමුත් මෙවැනි විශාල කර්මාන්තකරණයක් එම ප්‍රදේශවල ඇතිවී නැහැ.

විශාල කර්මාන්ත කලාපයක් ලෙස සැලකිය හැකි ආසන්නතම කර්මාන්ත කලාපය වන්නේ සීතාවක කර්මාන්ත කලාපයයි. එය මම ආරම්භ කළේ 1993 වසරේදීයි. මේ වන විට අවුරුදු 20කට වැඩි කාලයක් ගතවුණත් වෙනත් කර්මාන්ත කලාපයක් ඉදිවුණේ නැහැ. එම නිසා අප නැවතත් එම වැඩකටයුතු ආරම්භ කරනවා. නමුත් අවාසනාවකට අපේ ආණ්ඩුව යටතේ සිදුකෙරෙන මෙවැනි විශාල සංවර්ධන ව්‍යාපෘති ජනතාව දකින්නේ නැහැ. නමුත් තවත් කෙටි කලක් ගතවන විට ජනතාවට ඒවා පිළිබඳව අවබෝධයක් ලැබේවි.

අපේ ආණ්ඩුව මොනවාද කළේ යැයි ඇතැමුන් අද ප්‍රශ්න කරනවා. නමුත් වැඩ කටයුතු ආරම්භ කර ඒවායේ ප්‍රතිඵල එන විට අපි ඔවුන්ට පිළිතුරු දෙනවා. පසුගිය වසරේ බිංගිරිය කර්මාන්ත කලාපයේ වැඩකටයුතු අප ආරම්භ කළා. ඊට සමගාමීව උඩුබද්ධාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මම විවෘත කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හරහා නිසි ආකාරයෙන් වැඩ කටයුතු සිදු වන්නේ නැත්නම් අපේ සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක වන්නේ නැහැ.

හම්බන්තොට කර්මාන්ත කලාපයත් අපි මේ වසරේ ආරම්භ කරනවා. එය අක්කර 1500ක් පමණ වන විශාල කර්මාන්ත කලාපයක්. මේ වනවිට හම්බන්තොට වරාය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් දිසා ලේකම් කාර්යාලය මැදිහත්වී සිටිනවා. ඉදිරියේදී මේ ප්‍රදේශවල ඇතිවන සංවර්ධනයත් සමඟ රැකියා බිහිවෙනවා. මේ ප්‍රදේශයේ ඉඩම් මිලදී ගන්නා අය දැන්මම ඒවා මිලදී ගන්න. කර්මාන්ත කලාප ඇතිවී මේ ප්‍රදේශ දියුණු වන විට එක් පර්චසයක් ලක්ෂ 50ක් පමණ වන බව අපට පෙනෙනවා. ඉඩම් විකිණීමට බලාපොරොත්තු වන අය තවත් වසර දෙකක් තුනක් පමණ තම ඉඩම් විකිණීමක් නොකර සිටින්න.

මේ ප්‍රදේශයට ඉදිරියේදී විශාල ආදායම් මාර්ග ඇති වෙනවා. නිවාස කුලියට දීමල කාමර කුලියට දීම අදිය ජනතාවට සිදු කළ හැකියි. අද බියගම ප්‍රදේශය පුරා විවිධ කඩ සාප්පු ඇතිවී තිබෙනවා. ඒවගේම එම කර්මාන්ත ශාලාවලට පැමිණෙන කන්ටේනර් රථ තම ඉඩම්වල නවතා තැබීමට ඉඩ ලබාදීම හරහා එම ප්‍රදේශයේ ජනතාව විශාල ලෙස මුදල් උපයනවා. එම ප්‍රදේශයේ මාර්ග තවත් පුළුල් කර දෙන ලෙස ජනතාව විශාල වශයෙන් ඉල්ලීම් කරනවා. බියගම මාර්ග තවත් පුළුල් කිරීමට ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ ඇයි දැයි මම රුවන් ඇමැතිතුමාගෙන් විමසුවා. කන්ටේනර් රථ තම ඉඩම්වලට පහසුවෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නිසා ඔවුන් මෙලෙස ඉල්ලීම් කරන බව ඇමතිතුමා මා සමඟ පැවසුවා. මෙවැනි අප නොසිතන ආදායම් මාර්ග ද ජනතාවට අද ඇතිවී තිබෙනවා.

දෙද්දුව කලාපයත් අප ඉදිරියේදී ආරම්භ කරනවා. එය අක්කර දහසකට වඩා වැඩි සංචාරක කලාපයක් ලෙසයි. ඒවගේම ඉරණවිල ඇමරිකන් හඬ ආයතනය අත්හැරදමා ඇති භූමි ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙසත් කර්මාන්ත කලාපයක් ලෙසත් සංවර්ධනය කරනවා. මේ හරහා ඇතිවන දියුණුව හොරණට පමණක් සීමා වන්නේ නැහැ. එම දියුණුව අගලවත්ත ආදී ප්‍රදේශ දක්වාත් පැතිරෙනවා. මේ සියලූ වැඩකටයුතු සාර්ථක කර ගැනීම නම් නිසි දැක්මක් සහ කැපවීමක් තිබිය යුතුයි.

මේ සියලූ දේ ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය පාලන කර ණය ගෙවීමට සිදුව තිබෙනවා. පසුගිය ආණ්ඩුව ලබාගත් ණය වලින් වැඩිම මුදලක් ගෙවීමට තිබෙන්නේ 2018 සහ 2019 වර්ෂවලයි. එම ණය ගෙවන අතරම ආයෝජකයන් ගෙන්වා ගනිමින් රට වැඩ කටයුතු ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා.

ඉදිරි වසර දෙක තුන තුළ මෙම කලාපයත්, අනෙක් සංචාරක හා කර්මාන්ත කලාපත් දියුණු වන විට විශාල සංවර්ධනයක් රටේ ඇතිවෙනවා. එවිට රෝහල් සහ අධ්‍යාපන ක්ෂේත්‍ර පිළිබඳ විවිධ යෝජනා ගෙන ඒමට අජිත් පෙරේරා ඇමතිතුමාට සිදුවේවි. ආදායම් වර්ධනය වන විට අධ්‍යාපනික පහසුකම් ද දියුණු විය යුතුයි. පක්ෂ භේදයකින් තොරව සියලූ දෙනාගේ සහයෝගය ඇතිව මෙම වැඩකටයුතු සාර්ථක කර ගත යුතුයි. එවිට සියලූ දෙනාටම සංවර්ධනයේ ප්‍රතිඵල අත්කර ගත හැකියි. මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳ මම අජිත් පෙරේරා, වජිර අබේවර්ධන අමැතිවරුන්ට ස්තුති වන්ත වෙනවා.

මෙහිදි කළුතර දිසාපති යු.ඩි.සි ජයලාල් මහතා පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කළ අතර ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පි. පෙරේරා යන මහත්වරුන්ද අදහස් දැක්වුහ.

මිල්නිය වැඩ බලන ප්‍රාදේශිය ලේකම් බුද්ධිනි ගුණවර්ධණ, මහජන නියෝජිතයින් රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

හල්තොට සමුහ
ඡායාරූප- අගමැති මාධ්‍ය ඒකකය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();