යහපාලන ආණ්ඩුව එදා රට බාර ගන්නා විට ආර්ථිකය බංකොලොත්ව පැවතිය ද මේ වන විට විදේශ විනිමය සංචිතයේ ඩොලර් මිලියන නවදහසක් පමණ තිබෙන බවත් වසර අවසන් වන විට එය ඩොලර් මිලියන එකොළොස්දහසක් දක්වා වර්ධනය කළ හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. වර්තමානයේ ඇමෙරිකාවේ ආර්ථිකය ශක්තිමත් වන නිසා ඩොලරයේ අගය වැඩි වෙමින් අනෙක් මුදල්වල වටිනාකම අඩු වීමට පටන්ගෙන තිබුණ ද එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ගැටලුවක් නොවන බව මහ බැංකු අධිපතිවරයා තමාට ප්‍රකාශ කළ බව ද අගමැති වික්‍රමසිංහ මහතා පවසයි.
අරලියගහ මන්දිරයේ පැවැති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව ඊයේ (17) ප්‍රකාශ කළේය.
එහිදී අගමැතිවරයා මෙසේද පැවැසුවේය.
අපි බලය ලබා ගන්නා විට අපට ලැබුණේ විශාල ණය බරක් පමණයි. අධ්‍යාපනය, සෞඛ්‍යයට මුදල් වෙන්කිරීම නොව ණය ගෙවීමටවත් නොහැකි තත්වයක් ඇතිව තිබුණා. ඊට පෙර පැවති රජයට මේ ණය ගෙවීමට නොහැකි වුණා. 2013 – 2014 කාලවල ණය පොලිය ගෙවීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. ණය අර්බුදය විසඳීමට නොහැකි නිසා ඔවුන් ජනාධිපතිවරණයක් පැවැත්වූවා. අප ආණ්ඩු බලය ලබාගනිමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආර්ථිකය ස්ථාවර කරමින් ණය ගෙවීම ආරම්භ කළා. අද රටේ ආදායමෙන් ණය පොලී ගෙවීමටත්, සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීමටත් හැකිවී තිබෙනවා. රටේ ආදායම වැඩිවන විට ලබාගන්නා ණය ප්‍රමාණය අඩු වෙනවා. ණය සඳහා පොලිය ගෙවීමටත් අපට හැකියාව ලැබෙනවා. මේ වන විට අප ඩොලර් මිලියන 2500ක මුදලක් ණය ලෙස ගෙවා අවසන් කර තිබෙනවා. මෙම විශාල ණය මුදල ගෙවීමට නොහැකිව ආණ්ඩුව බිඳ වැටේවි යැයි බොහෝ දෙනා කල්පනා කළා.
විශේෂයෙන්ම දියුණුවෙමින් පවතින රටවල්වලට මෙය බලපානවා. ආර්ජන්ටිනාව, තුර්කිය වැනි රටවල මුදල්වල වටිනාකම බොහෝ සෙයින් පහළ ගොස් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවට මීට මුහුණ දිය හැකි බව මහ බැංකු අධිපතිතුමා ඊයේ දිනයේ පැවසුවා.
එදා ආර්ථිකය බිද වැටුණු විට ආණ්ඩු බලය අත්හැර පලාගිය අය අද ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි අපෙන් විමසීම පුදුමයක්. ඔවුන් 2015 මැතිවරණයකට ඉදිරිපත් වුනේ ආර්ථිකය බිඳ වැටුණු බව දැනගත් නිසයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඔවුන් යටතේ කාලයක් පාලනය වුණා. නමුත් ඔවුන් එය බිඳ වැට්ටුවා. රටේ ණය බර දෙගුණයක් බවට පත්කළා. අධ්‍යාපනයට සෞඛ්‍යයට යොදවන මුදල් ප්‍රමාණය අඩු කළා. අවසානයේ රටත්, ආර්ථිකයත් පාලනය කිරීමට නොහැකිව ආණ්ඩු බලය අත්හැර ඔවුන් පලාගියා. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ අපි නැවතත් රටේ ආර්ථිකය ගොඩනැගුවා. එමනිසා තමන්ට හැකියාව තිබූ අවස්ථාවේ රටේ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු නොකලා නම් දැන් විවේචනය කිරීමෙන් ඵලක් නැති බව මම ඔවුන්ට පවසනවා.


0 Comments