පළාත් සභා ප්‍රා.සභා නියෝජිතයන්ට අගමැති දැනුම් දෙයි
ජල ගැලීම් හා ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා දිසාපති හා ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සම්බන්ධව ආපදා සහන සැලසීමට පෙරමුණ ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළාත් සභා හා ප්‍රාදේශීය සභා ජනතා නියෝජිතයන්ට ඊයේ (21) දැනුම් දුන්නේය.
ගංවතුර තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන ලෙසද අගමැති වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. ජල ගැලීම් හා ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු කඩිනම් පියවර සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී (21) දින පැවැත්විණ.
මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන් මහතා වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ. ඒ. එන්. සිල්වා මහතා විසින් ජනතාවට සහන සැලසීමට අදාළ නිලධාරීන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන ලදී.
සහන සැලසීමට අවශ්‍ය තරම් ප්‍රතිපාදන දිසාපතිවරුන් සතුව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කළේය. තත්වය තවදුරටත් සමාලෝචනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අගමැතිවරයා ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට උපරිම කාර්යක්ෂචමතාවයෙන් කටයුතු කරන ලෙස අංශ භාර නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආපදා තත්වය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ ආරක්ෂක ලේකම්වරයා සමඟ ද වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් අදහස් හුවමාරු කර ගත්තේය.
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.


0 Comments