ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති සහ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන්ගේ තෙමස් පූර්ණ ගුණ සැමරුම් පින්කම් අද(05)හෙට(06) බෙල්ලන්විල රජමහා විහාරස්ථානය කේන්ද්‍රකොට ගෙන පැවැත්වේ.
බෙල්ලන්විල රජමහා විහාරාධිපති සහ සිංගප්පුරුවේ ප්‍රධාන සංඝනායක සහ සිංගප්පුරු බෞද්ධ පුස්තකාලයේ උපදේශක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි සංවිධාන වන පින්කම් මාලාවේ තෙමස්පූර්ණ ධර්ම දේශනය රජමහා විහාරස්ථ ධර්ම ශාලාවේදී අද(05) රාත්‍රී 7.00 ට පැවැත්වේ.
කැලණි රජමහා විහාරාධිපති සහ කැලණි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොල්ලුපිටියේ ශ්‍රී මහින්ද සංඝරක්ඛිත නායක හිමිපාණෝ එදින අනුස්මරණ ධර්ම දේශනාව සඳහා ආරාධනා ලැබ සිටිති.
ශතාධික මහා සංඝයාවහන්සේ වෙත පසු දින (මැයි 06) පිරිනැමෙන මහා සාංඝීක දානය මල්වතු - අස්ගිරි මහානායක, අනුනායක නාහිමිපාණන් වහන්සේලා, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමිපාණන්, සෙසු ආරාධිත හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට නියමිතය.
එදිනම සිංගප්පුරු බෞද්ධ පුස්තකාලයට සම්බන්ධ සාමාජික සාමාජිකාවන්ගේ අනුග්‍රහයෙන් ප්‍රදේශයෙන් තෝරාගන්නා ලද පාසල් ළමයින් 300කට අධික පිරිසකට අවශ්‍ය පාසල් පොත්පත් සහ ලිපිද්‍රව්‍ය ප්රදානය කිරීමද සිදුකෙරේ. මීට අමතරව, බෙල්ලන්විල තරුණ බෞද්ධ සංවිධානය මගින් ප්‍රදේශයේ ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන පවුල්වලට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ පින්කමක් ද සංවිධාන කර ඇත.
මේ අනුස්මරණ පින්කමට සමගාමීව විහාරස්ථ ප්රජාසංවර්ධන පදනමේ ආදී සාමාජිකයන් විසින් සංවිධාන කරනු ලැබු ලේ දන් දීමේ සත්කාර්යක් ද උන් වහන්සේට පින් පතා ශ්‍රී සෝමරතන විශ්‍රාම ශාලාවේදී එදින මුළු ගැන්වේ. බෙල්ලන්විල විහාරස්ථ දායක සභාව, ශ්‍රී බෝධිරාජ කුලගන සමිතිය ඇතුළු සියලු සමිති සංවිධාන මේ පින්කම් සංවිධාන කරනු ලබයි.
0 Comments