Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සර්වඥ ධාතූන් වහන්සේ ගාල්ල බටගන්විල ශ්‍රී සුමනාරාමයට වැඩම කරවති

පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේලා අද (5) උදෑසන ගාල්ල බටගන්විල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයට වැඩම කරවූහ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් මෙම ධාතූන් වහන්සේලා දිස්ත්‍රික්ක හතක ප්‍රදර්ශනය කිරීමට නියමිතය. බුදුන් වහන්සේ ඉපදී, බුදු වී, පිරිනිවන් පෑ අතීත දඹදිව රාජ්‍යයේ ගන්ධාර ප්‍රදේශයේ ප්‍රධාන නගරය වූයේ තක්ෂිලාවයි. අද එම පෙදෙස වත්මන් පාකිස්තානයේ පිහිටි ටැක්ෂිලා නම් ප්‍රදේශයයි. වසර 3000ට වඩා පැරණි අතීතයකට හිමිකම් කියන තක්ෂිලාව බුද්ධ කාලයටත් පෙර දිසාපාමොක් ඇදුරු පරපුර බිහිවූ අධ්‍යාපනයේ තෝතැන්නක් වූ පෙදෙසකි. පසු කළෙක මෞර්ය රජ පෙළෙපතේ විශිෂ්ටතම පාලකයා වූ ධර්මාශෝක අධිරාජ්‍යයා බෞද්ධයකු බවට පත්ව ලොව පුරා ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකරද්දී ගන්ධාර ප්‍රදේශය ද බෞද්ධ භූමියක් බවට පත්කළේය.

කාලයාගේ ඇවෑමෙන් මේ පෙදෙස නටඹුන් බවට පත්විය. එසේ වුව ද අශෝක අධිරාජ්‍යයා එදා තැබූ නොමැකෙන ශිලාමය ස්ථම්භ හා වෙනත් ශිලා ලිපි හේතුවෙන් අදට ද ඒ අතීතය හඳුනාගැනීම දුෂ්කර නොවේ.

ගන්ධාර ප්‍රදේශයේ කුඩා වන ලැහැබකින් වැසී ගොස් නටඹුන්ව තිබූ ධර්මරාජිකා ස්තූපය 1912-16 කාලයේ ශ්‍රීමත් ජෝන් මාර්ෂල් මහතාගේ අධික්ෂණයෙන් ගුලාම් කදීර් මහතා විසින් කැණීම් කරන ලදී. අඩි 131ක් විෂ්කම්භයෙන් යුතුව ඒ වනවිට අඩි 45ක උසකින් යුතුව තිබූ ධර්මරාජිකා දාගැබේ තිබී කුඩා මංජුසාවක් කැණීම් කණ්ඩායමට හමුවිය. එහි උස අඟල් 7.5කි. නොගැඹුරු කැටයම්වලින් අලංකාර කර තිබූ බඳුනකින් හා රවුම් හැඩැති අල්ලුවකින් මේ කරඬුව නිර්මාණය කර තිබිණි.

මේ දාගැබ තක්ෂිලාවේ ධර්මරාජිකා ස්තූපය බව පැහැදිලිව ශිලාලිපියක සටහන් කර තිබූ ධර්මාශෝක අධිරාජයා තමන් විසින් මේ දාගැබ කරවා පූජකරද්දී බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කරන ලද බව එම මංජුසාවේ සටහන් කර තිබිණි.

මෙය අපූර්ව සොයා ගැනීමකි. ඒ සටහන අනුව මේ මංජුසාවේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඉතිරි වූ ධාතූන් වහන්සේ නමකි. දාගැබ අසල ඇති ශිලා ලේඛනයේ හා මංජුසාවේ ඇති සටහනින් සෑහීමකට පත්නොවූ පුරාවිද්‍යාඥයෝ ධාතූන් වහන්සේලා අඩංගු කරඬුව විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව පරීක්ෂාවට ලක් කළහ. ඒ අනුව අනාවරණය වූයේ මේ මංජුසාව අශෝක අධිරාජ්‍යයාගේ පාලන කාලයට අදාළ බවයි. එයින් අශෝක අධිරාජ්‍යයා තැබූ සටහන වඩාත් විද්‍යාත්මකව තහවුරු වී ඇත.

කරාපිටිය සමූහ එස්.ලොකුකරවිට

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();