මහින්ද අලුත්ගෙදර/ අසේල කුරුළුවංශ
යු.එස්.එන්.එස් මර්සි නෞකාව තුළ ශ්‍රී ලාංකික හා එක්සත් ජනපද වෛද්‍යවරු ඒකාබද්ධව පළමු රොබෝ අධාරිත ශල්‍යකර්මය සිදුකරති.
ශ්‍රී ලාංකික හා එක්සත් ජනපද වෛද්‍යවරු පළමුවැනි වරට රොබෝ අධාරිත ශලයකර්මයක් සිදුකර තිබෙන අතර බහු ජාතික ශෛල්‍ය වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත කන්ඩායමක් විසින් ඩාවින්සි XI රොබෝ ශල්‍ය පද්ධතිය (Da Vinci XI Robot Surgical System) යොදා ගනිමින් ශ්‍රී ලාංකික පුරවැසියෙකුකේ පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් සාර්ථක ලෙස සිදුකළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ හා මාල දිවයින් එක්සත් ජනපද තානාපති අතුල් කෙශාප් මහතා මේ සම්බන්ධයෙන් අහස් දක්වමින් පෙන්වා දුන්නේ සහයෝගිතාව, කුසලතා හා තාක්ෂණය තුළින් කළහැකි කටයුතුවල සීමාවන් ඉක්මවා යා හැකි බවට මෙම වැදගත් ශලය කර්මයෙන් පෙනීයන බවයි.
ජාත්‍යන්තර වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙම නවීනතම ජයග්‍රහණය ළඟාකර ගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍ය වෘත්තිකයන් සම එක්ව කටයුතු කිරීමට ලැබීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවද නැවක් තුළ මෙම ශල්‍ය කර්මය කළ පළමු අවස්ථාව මෙය බවද ඒ මහතා සඳහන් කරයි.
මේ අතර මුතූර් මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය වයිරමුත්තු වරනීතිරන් මහතා පෙන්වා දුන්නේ නැවක් තුළ සිදුකරන ලද මෙම ශල්‍ය කර්මය ස්ථාවර තත්ත්වයකින් සිදුකළ බවත් රෝහලක් තුළ ශල්‍යාගාරයක දී සිදුකරන්නාක් මෙන් සාර්ථක වූ බවත්ය. නෞකා රෝහලක ශල්‍යකර්මයක් කිරීම අති විශිෂ්ඨ අත්දැකීමක් වන අතර තමා ඇතුළු කණ්ඩායමටත් එය කිසිදිනක අමතක නොවනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
දැඩි හා සියුම් ලෙස සැලසුම් කිරීමේ හා සූදානම් වීමේ ප්‍රතිඵලය වූයේ සුමට ශල්‍යකර්මයකි. ශල්‍යකර්මය සාර්ථක ලෙස නිමා කිරීමෙන් පසු රෝගියා මර්සි නෞකාවේ පශ්චාත්-නිර්වින්දන ඒකකයට මාරුකරන ලද අතර පසුව ඉතා හොඳ තත්ත්වයේ පසුවූ රෝගියා වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සාමාන්‍ය පශ්චාත් ශල්‍යකර්ම සඳහා රෝහලයට යොමුකර තිබේ.
ඉන්දු-පැසිෆික් කලාපයේ පවත්වන විශාලම වාර්ෂික බහු-පාර්ශවික ආපදා ප්‍රතිචාර දූත මෙහෙය පැසිෆික් සහයෝගිතා වැඩසටහන වන අතර මෙම වර්ෂයේ දූත මණ්ඩලයට ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, පේරු සහ ජපානයේ හමුදා හා සිවිල් පුද්ගලයෝ ඇතුළත් වෙති. 2018 පැසිෆික් සහයෝගිතාව, එක්සත් ජනපද හා අනිකුත් රටවල හමුදා හා සිවිල් පුද්ගලයන් 800 දෙනෙකුගෙන් පමණ සමන්විත වන අතර ඔවුන් සත්කාරක රටේ වෘත්තිකයන් සමඟ උරෙනුරගැටී කටයුතු කරන්නේ මානුෂීය ආධාර ලබාදීම හා ආපදා ප්‍රතිචාර තත්ත්වයන්ට වඩාත් හොඳින් සූදානම් වීම සඳහා බවද ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.


0 Comments