Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම රනිල්

2020 දී ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට මත පළ කරන ඇතැමුන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය වීම හාස්‍යයට කරුණක් බව හෙතෙම පෙන්වා දෙයි. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමිනි. වැඩසටහන පෙරේදා (12) මාතර දී පැවැත් විණි.

‘‘අසූව දශකයේ අග භාගයේ දී මට මතකයි සිරිමාවෝ මැතිනියට විරුද්ධව අනුර බණ්ඩාරනායක මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ. එදා මැතිනිය නායකත්වය දාල ගියෙ නැත්තෙ ඒකට තියෙන ලෝබකම නිසා නෙවෙයි, හරි නායකත්වයක් නොමැතිව නායකත්වය හැර යෑමෙන් පක්ෂය අරාජික වෙන්න පුළුවන් අවදානම තේරුම් අරගෙනයි. අද රනිල් වික්‍රමසිංහ මහතාට යන්න ඕනෙ කියන වැඩි දෙනා පොහොට්ටුකාරයො.

මට මතකයි 1998 - 99 වකවානුවේ දී චන්ද්‍රිකා ජනාධිපතිනිය දෙවැනි වරට ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කරන කාලෙ මමයි රනිල්ට බෑ කියල පෝස්ටර් ගැහුවෙ ගමක් ගමක් ගානෙ. ඒ මොකද අපි දැක්ක රනිල්ට ඇත්තට ම පුළුවන්, අපට සිටින ලොකුම අභියෝගය එයා කියල. ඇත්තට ම එහෙම අභියෝගයක් නැත්තං ඇයි අපි බෑ කිය කිය පෝස්ටර් ගහන්නෙ. ඒ වගේ තමයි අද තත්ත්වයත්. ඒක නිසා ඉතාම පැහැදිලියි මීළග ජනාධිපතිවරණයේ දී ඊට සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරමයි කියන දේ මම කියන්න කැමැතියි.

ගැලරිය පිනවන්නෙ නැතුව රට ගමන් කළ යුතු සැබෑ දිශාව දන්නා නායකත්වය ඔහුයි. එදා මම මුදල් ඇමැති වෙලා හිටිය නම් ගැලරියේ අත්පොළසන් වෙනුවෙන් මේ තරම් සහන ලබා දෙන්න යන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය වෙන්නෙ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැය කරන්න තියෙන මුදල්.

පසුගිය දවසේ අපි දැක්කා වැලිගම ප්‍රදේශයේ පාලම් විවෘත කරන්න ගිය අවස්ථාවට ඇමැතිවරුන් පිරිසකට ඒකාබද්ධ විපක්ෂෙ කණ්ඩායම් විරෝධය පළ කළා. ඔවුන් කිවුවෙ ඒ ආණ්ඩුවෙන් කරපු වැඩ මේ ආණ්ඩුවෙන් විවෘත කරනව කියලයි. මම මතක් කරන්න කැමැතියි අද ඔය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවෙලා ඉන්න පුද්ගලය කරපු දේවල්. මාතර අපට අමතක නෑ ඒව. දක්ෂිණ අධිවේගී මාර්ගෙ වැඩ පටන් ගත්තේ 1997 දී. මමයි ෆවුසි ඇමැතිතුමයි තමයි මුල් ගල තිබ්බෙ. ඉඩම් පවරා ගනිද්දි විදේශගතව ඉන්නෙ ඉඩම් හිමියෙක් අපට නඩුවක් දැම්ම. ඒ නඩුව කාලයක් දිග්ගැස්සුණා. පස්සේ 2001 එක්සත් ජාතික පක්ෂය බලයට ආවමත් අපි අධිවේගී මාර්ගයේ වැඩ කරගෙන ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඊට පස්සෙ ඇවිත් පාර හදල අපි හිටවපු මුල්ගල නිල්වලා ගඟට විසි කරල තමයි එයාගෙන නම ගහගත්තෙ.

මේ මාතර මහානාම පාලමත් එහෙමයි. 2005 දි තමයි මම දකුණු කොරියාවට ගිහින් ඊට ආධාර ගත්තෙ. පස්සෙ පාලම හදල විවෘත කරන්න එයා ලොකු උත්සවයක් තියල අර මර්වින් සිල්වා ඇමැතිතුමාව ගෙන්නලා මගෙ මවුපියන් මතක් කළා.”

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සහ පළාත් පාලන නියෝජිතයෝ සහ විශාල පිරිසක් එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();