කොළඹ විහාරස්ථානවලට මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයේ දී අගමැති කියයි
නගරයේ හෝ ගමේ පන්සල කිසි විටෙක පිරිහී යාමට ඉඩ නොදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (21) අරලියගහ මන්දිරයේ පැවැති කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ තිබෙන විහාරස්ථාන සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිණි.
කොළඹ මහ නගර සභාව විසින් මේ වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරන අතර එහිදී නගර සභා බල ප්‍රදේශයේ පිහිටි සියලූ ආගමික මධ්‍යස්ථාන වෙත රුපියල් 50,000 බැගින් මූල්‍ය පරිත්‍යාග සිදු කරනු ලබයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ විහාරස්ථාන සඳහා වෙසක්, පොසොන් උත්සව වෙනුවෙන් ද එදිනෙදා නඩත්තු කටයුතු වෙනුවෙන් ද විශාල මුදලක් වැය වෙනවා. මේ කටයුතු සඳහා විහාරස්ථානවලට මුදල් සොයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. කොළඹ නගරයේ දුප්පත් ජනතාව ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතවයි විහාරස්ථාන බොහොමයක් පිහිටා තිබෙන්නෙ. දානපතියන් සිටින ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන සීමා සහිතයි. එම නිසා විහාරස්ථානවල කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අතහිත දීමක් ලෙස වාර්ෂිකව මේ මුදල් ලබා දෙනවා.
නගරයේ විහාරස්ථාන මෙන්ම ගමේ විහාරස්ථානත් අප ආරක්ෂා කරගත යුතුයි. එම සියලු විහාරස්ථාන දියුණු කර ඉදිරියට ගෙන යා යුතුයි. නගරයේ පන්සල් මෙන්ම ගමේ පන්සල් ද කිසි විටෙක පිරිහී යන්නට ඉඩ තැබිය යුතු නැහැ. අපගේ රජය කිසි විටෙක එවැනි කටයුත්තක් සඳහා ඉඩ තබන්නේ නැහැ. සමාජය සංකීර්ණ තත්ත්වයට පත් වුවත් අධ්‍යාත්මික කටයුතු දිනෙන් දින වැඩි වෙනවා මිස අඩු වන්නේ නැහැ. එසේ නම් අධ්‍යාත්මික දියුණුව ලබාදෙන විහාරස්ථාන දියුණු කිරීම සඳහා කටයුතු කළ යුතුයි.
රටක් දියුණු වනවා නම් පන්සලේ දායකයන් ද දියුණුවට පත් වෙනවා. එවිට එම දායකයන්ගේ මුදල් යොදා ගෙන විහාරස්ථාන දියුණු කළ හැකියි. විහාරස්ථාන දියුණු කිරීමේ කාර්යය සඳහා රජයද මැදිහත් වනවා. සිංහල, බෞද්ධ බහුතර ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ විහාරස්ථාන දිවි හිමියෙන් අප රැක ගත යුතුයි.
පෘතුගීසීන් මෙරටට පැමිණි යුගයේ දී අප රටේ විහාරස්ථාන විනාශයට පත් වුණා. එම විහාරස්ථාන නැවත ගොඩනැගීමට මෙන්ම උපසම්පදා පින්කම් පැවැත්වීමට ශත වර්ෂ තුන හතරක් ගත වුණා. එම නිසා වර්තමානයේ දී විහාරස්ථාන මෙන්ම මහා සංඝරත්නය ආරක්ෂා කිරීම රජයේ මූලික කටයුත්තක් සේ සැලකිය යුතුයි.
වර්තමානයේ දී ගමේ ජනතාව නගරයට සංක්‍රමණය වෙමින් සිටිනවා. ගමේ ජනතාව අඩු වන විට ගමේ පන්සලේ දායක පිරිස අඩු වෙනවා. ගමේ සිට නගරයට එන ජනතාවගෙන් එක් වරම නගරයේ පන්සල්වලට ආධාර උපකාර ලැබේ යැයි සිතන්නට හැකියාවක් නැහැ. මෙම තත්ත්වය නිසා ගමටත්, ගමේ පන්සලටත් ප්‍රශ්න තිබෙනවා. මෙය මඟහරවා ගැනීම සඳහා හැකි අයුරින් ආධාර උපකාර කිරීම අපේ අරමුණයි.
ජනාධිපති අරමුදලෙන් මෙන්ම අගමැති කාර්යාලයෙන් කරන උපකාරවල අරමුණ විහාරස්ථාන ගොඩනැගීමයි.
මේ සත්කාරය සංවිධානය කළ කොළඹ මහ නගර සභාවට මෙන්ම නගරාධිපතිතුමියටත් ස්තූතිවන්ත විය යුතුයි. මේ පුණ්‍ය ක්‍රියාව ඉදිරියටම ගෙන යා යුතුයි.
නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත නාහිමි-
ආගම ධර්මයෙන් අපව ඉතාම දුරස්කරගෙන යන යුගයක් පැමිණෙමින් තිබෙනවා. සැප සම්පත් වලට ආසාවෙන් ඒවායේ ඇලි ගැලි සිටින මිනිස් සංහතිය එම සැප සම්පත් නිසාම විනාශ වී යන අවදානමකට මුහුණ පා සිටිනවා. මිනිසා මිනිසාගේම පරම හතුරෙක් ලෙස ක්‍රියා කරන අන්දම බුද්ධිමතුන්ට දැක ගත හැකියි.
වැරදි මඟට යන මිනිස් සමාජය නිසි මඟට ගැනීමේ වගකීම ආගම දහම තුළින් සිදුකළ හැකියි. ආගම් අතර විවිධාකාර වෙනස් කම් තිබෙනවා. බුදුන් වහන්සේ වේවා, ජේසුස් වහන්සේ වේවා, මහම්මද් තුමා වේවා මේ සියලු දෙනාටම තිබූ පොදු අරමුණ වූයේ යහපත් පුරවැසියන් ලෙස මුලු මිනිස් සමාජයම හැඩ ගස්වා ගැනීමයි.
විහාරස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමා ගන්නා උත්සාහය අපි අගය කළ යුතුයි. පන්සල් අලංකාරව තිබෙන්නෙ ස්වාමීන් වහන්සේලාගේ ඇපකැප වීම මතයි. කුමන පක්ෂයකට අයිති වුවත් පන්සලේ දායකයා නායක හාමුදුරුවන්ගේ වදන්වලට ඇහුම්කන් දෙනවා. පන්සල, පල්ලිය, කෝවිල කියන්නෙ අපේ මධ්‍යස්ථානය කියන එක අමතක නොකළ යුතුයි. අප විහාරස්ථාන සියල්ල ආරක්ෂා කර ගත යුතුයි.
විහාරස්ථානයන්ට විදුලිය, ජල පහසුකම් නොමිලේ ලබා දෙනවා නම් එය ඉතා වටිනවා. විශාල ලෙස ආදායම් ලැබෙන ඇතැම් ආගමික ස්ථානයන්ට මේ පහසුකම් නොමිලේ ලැබෙනවා. දුප්පත් විහාරස්ථානයන්හි ස්වාමීන් වහන්සේලාට ජල විදුලි බිල් ගෙවා දැමීම ඇතැම් අවස්ථාවලදී ඉතා අපහසුයි. මේ පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා.
කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය-
අද දවස සුවිශේෂී වූ දවසක්. මේක දීර්ඝ කාලයක සිට කොළඹ නගර සභාව බෞද්ධාගම ශක්තිමත් කිරීම සඳහා කරන වැඩසටහනක් ලෙස හැදින්විය හැකියි. මේ පරිත්‍යාගය තුළින් විහාරස්ථානයන්හි අඩුපාඩු සම්පූර් කර ගැනීමට හැකි වෙනවා. ගිය වර්ෂයේ විහාරස්ථාන 120කට මේ ආකාරයෙන් අප මේ රුපියල් 50000 බැගින් ආදාර මුදල් ලබා දුන්නා. මෙවර විහාරස්ථාන 140කට ආධාර මුදල් ලබා දෙනවා. අද දින විහාරස්ථාන 138කට මේ ආධාර ලබා දෙනවා. මේ සඳහා සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය හිමිවුණා.
පන්සල්වලට මේ මුදල ලබා දෙනවා වගේම මෙහෙනින් වහන්සේලාගේ ආරාම සඳහාත් ලබන වසරේ සිට ආධාර මුදලක් ලබාදිය යුතු බව මා ප්‍රකාශ කරනවා. ඒ සඳහා අප සූදානම් වෙනවා. මෙහි පැමිණ සියටින සියලු ස්වාමින් වහන්සේලා කොළඹ නගරය තුළ විශාල කාර්යය භාරයක් කරනවා. ස්වාමින් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනා අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයට යොමු කරනවා. අප අනෙකුත් ආගමික ජනතාවගේ ආගමික ස්ථානවලටත් මේ ආකාරයෙන් උපකාර කරනවා.
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි, දවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරාධිපති අඹන්වල ඥාණාලෝක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය ද, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා , නාගරික මන්ත්‍රීවරුවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප- සමන් ශ්‍රී වෙඳගේ


0 Comments