Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොග්ගල කේන්ද්‍ර කර ගනිමින් මෙරට දැවැන්ත වෙළෙඳ කලාපයක් පිහිටුවනවා

 

කොග්ගල නවතම සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කරන බව අගමැති කියයි

කොග්ගල වෙළෙඳ කාලාපය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශාලතම දැවැන්තම වෙළෙඳ කලාපයක් පිහිටු වීමට පියවර ගන්නා ගමන්ම, කොග්ගල සංචාරක කලාපය අක්කර 400ක ප්‍රදේශය පුරා පැතුරුණු නවතම සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ හබරාදුව, අක්මිමන, හික්කඩුව,ගෝනාපිනුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට නව ගොඩැනිගිලි සමුහයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මේ සඳහා වැයකර තිබු මුදල රුපියල් ලක්ෂ 2020ක් පමණ විය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසිය.

අද දිනයේ ගාලූ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක නව ගොඩනැගිලි විවෘත කිරීමට මට අවස්ථාව ලැබුණා. හබරාදුව, අක්මීමන, ගෝනාපිනුවල, හික්කඩුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම නව ගොඩනැගිලිවලට අමතරව ගෝනාපිනුවල නව ජල යෝජනා ක්‍රමයත් විවෘත කළා. මෙම ගොඩනැගිලිවල උපකරණත් සමඟ වටිනාකම රුපියල් මිලියින 250 ක් පමණ වෙනවා. මේ ප්‍රදේශයේ පරිපාලනය නිසියාකාරව ගෙන යාමට පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි අවශ්‍ය වූ නිසා අප ඔබට ඒවා ලබාදීමට කටයුතු කළා. එම වැඩ කටයුතු සඳහා වජිර අබේවර්ධන මැතිතුමා අවශ්‍ය නිලධාරීන් සොයා ගනිමින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සිදු කරගෙන යනවා. මේ රටේ ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කිරීමට එතුමාත්, එතුමාගේ අමාත්‍යාංශයත් ගනු ලබන පියවර සම්බන්ධයෙන් මගේ ප්‍රශසංශාව පළ කර සිටිනවා. මේ හරහා ජනතාවට එක් ස්ථානයක සිට තමන්ගේ සියලූ ගැටලුවලට පිළිතුරු සහ සේවාවන් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව කිව යුතුයි.

ගාල්ල ,කොග්ගල, වැලිගම නගර යා කරමින් දැවැන්ත සංවර්ධනයක් ඇති කිරීමට පියවර ගන්නවා. මෙයට අමතරව, කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ මේවන විට කර්මාන්ත ශාලා 30 ක් පමණ ක්‍රියාත්මක වෙනවා. මෙහි 25,000ක් පමණ රැකියා වල නිරත වෙනවා.මෙහි තව තවත් සංවර්ධන කටයුතු වැඩි කරන්නට පියවර ගන්නවා. මෙය සංවර්ධනය කරන්නට පියවර ගන්නට කටයුතු කරන යුගය මට මතකයි. එදා කටුනායක,බියගම වාගේ ප්‍රදේශවල වෙළෙඳ කලාප ඇති කරන්න පියවර ගන්නා විට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කීවේ අපි එකක් ගාල්ල කොග්ගලට පිහිටවමු කියලා. මෙහි දී කොග්ගල ජලය තිබේද යන්න ප්‍රශ්නය ඇති වුණා. මෙහි දී සති ගණනාවක් පරික්ෂා කර ජලය සහ සුදුසු පරිසරයක් ඇති බවට අප හදුනා ගත්තා. මේ කොග්ගල වෙළෙඳ කලාපය සකස් කරන්නට පියවර ගත්තා. නමුත් මේ කොග්ගල වෙළෙඳ කලාපය විවෘත කරන්නට පෙර ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්වුණා. මෙය විවෘත කරන්නට ආවේ ඩී.බී විජේතුංග ජනාධිපතිතුමයි. මමත් එම අවස්ථාවට එක්වුණා මට මතකයි.

දැන් කොග්ගල වෙළෙද කලාපය දියුණුයි. කොග්ගල වෙළෙඳ කලාපයේ තවත් වෙළෙඳ කලාපයක් ඇති කරන්නට ඉදිරියේ දී පියවර ගන්නවා. මේ හා සම්බන්ධ වු කොග්ගල වෙළෙඳ කාලපය ආශ්‍රිතව හෝටල් සංවර්ධනය කිරීමට ද පියවර ගන්නවා. මෙයට අමතරව කොග්ගල වෙරළ තිරය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කරන්නට පියවර ගන්නවා. මේ යටතේ අලුතින් අක්කර 400 ක දැවැන්ත ආකාරයට විහිදුනු පැතිරි යන ආකාරයට සංචාරක කලාපයක් කොග්ගල පිහිටුවන්නට පියවර ගන්නවා. වැලිගම චාල්ටන් වත්ත ආශ්‍රිතව ගොඩනැගෙන කර්මාන්ත පුරවරයට අවශ්‍ය සියලුම පහසුකම් සම්පාදනය කර අවසන්ව තියනවා. මෙහි ඉඩම් පවරා ගැනිම් හා ඒ සම්බන්ධ කටයුතු ඉක්මනින්ම ඉටු කරන්න කියලා මම දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට උපදෙස් දී තියනවා. ඒවා ලද විගස අපි මෙහි කර්මාන්ත සංවර්ධනය ඇති කරනවා.

ගාල්ල අක්මිමන, සංවර්ධනය වෙන කොට, ඉමදුව නගරය ද සංවර්ධනය කරනවා.මෙයට අමතරව, වැලිගම වෙරළ කලාපයේ සංචාරක කාලපයක් ඇති කරන්න පියවර ගන්නවා. මේ අනුව වැලිගම නගරය හා වැලිගම වෙරළ කාලපය තුළ නවතම සංචාරක කලාපයක් ඇති කරන්නට පියවර ගන්නවා.

පසුගිය කාලය තුළම අපිට වැඩිපුරම සිදු කරන්න වුණේ පසුගිය කාලයේ පසුගිය පාලනය ගත්ත ණය ගෙවන්න. එකයි දැන් අපි සිදු කරන්නේ 2016 පසුව. රට සංවර්ධනය කරන එකයි.ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න සැලැස්සීම අපි දැන් සිදු කරගෙන යනවා.

රටේ සංවර්ධනය සිදු කරන්නට නම් පහළ මට්ටමේ බිම් මට්ටමේ ඇති රාජ්‍ය ආයතන දියුණු කළ යුතුයි. ඒ යටතේ තමයි මේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සංවර්ධනය සිදු කරන්නේ. මෙය තුළින් ගම් මට්ටමේ සංවර්ධයක් සිදු වෙනවා.එයයි අපි සිදු කරන්න යන්නේ.

හබරාදුව නව තේමහල් ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 520 ක් පමණ වැය කර අංග සම්පුරණ ආකාරයට ජනතාවට ලබා දුන්නා. අක්මිමන ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය නව ගොඩනැගිල්ලට රුපියල් ලක්ෂ 500යි. හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට එක් වු නව ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 500 ක් පමණ වැය කර තියනවා.ගෝනාපිනුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කරන්නට සකස් කළ ගොඩැනැගිල්ට ලක්ෂ 500ක් පමණ වැයකර තියනවා. මේ සියලුම සංවර්ධන කටයුතු සිදු කරන්නට පියවර ගන්නේ රාජ්‍ය පරිපාලනයේ ගුණාත්මක වෙනසක් ඇති කරමින් ජනතාවට උපරිම සේවාවක් පහසුකම් ලබා දීමටයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩකටයුතු රාශියක් අප ආරම්භ කර තිබෙනවා. කොග්ගල වෙළෙඳ කලාපයෙන් පසු වෙනත් කිසිදු වෙළෙඳ කලාපයක් අප රටේ ඉදිවී නැහැ. නමුත් අපේ ආණ්ඩුව යටතේ වැලිගම චාර්ලිමන්ට් වත්තේ කර්මාන්ත කලාපයක් ඇති කිරීම සඳහා වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ද අප එහි ඇති කරනවා.

දේද්දූව අක්කර 1800 ක විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට අවශ්‍ය මුදල් අප දැන් ලබාගෙන තිබෙනවා. ගයන්ත කරුණාතිලක අැමැතිතුමා ඔබට ඒ පිළිබඳව පැවසුවා. ඒ අනුව සංචාරක කලාප තුනක් සහ එක් වෙළෙඳ කලාපයක් මේ ප්‍රදේශයට ලැබෙනවා. කළුතර අක්කර 400 ක තවත් වෙළෙඳ කලාපයක් ඇති කරනවා. හම්බන්තොට වෙළෙඳ කලාපය සඳහාත් මුදල් යෙදවීමට සිදු වෙනවා. මෙවැනි සංවර්ධන කටයුතු සඳහා මුදල් යොදවන්නේ නැත්නම් රටේ දියුණුවක් ඇති වන්නේ නැහැ. රටේ විශාල ණය බර නැති කිරීමට අප පසුගිය වසර තුන පුරා විශාල උත්සාහයක් දැරුවා. ආණ්ඩුවේ වියදම් සීමා කරමින් ජල ගැල්ම හා නියඟයන්ට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. මුදල් සොයා ගැනීමට හැකියාව තිබෙන අවස්ථාවේ අප ඒවා සංවර්ධනය සඳහා යෙදවිය යුතුයි.

අප මේ රටේ සංවර්ධනයක් සිදු කරන්නේ නැත්නම් රටේ තරුණ පරම්පරාවට අනාගතයක් නිර්මාණය වන්නේ නැහැ. මේ වසර අවසන් වනවිට ගුවන් තොටුපොළ දෙකක් අතර තිබෙන හොඳම දිස්ත්‍රික්කය බවට ගාලූ දිස්ත්‍රික්කය පත් වෙනවා. කටුනායක සහ මත්තල එම ගුවන් තොටුපොළවල් දෙකකයි. එවිට සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකියි. නව සංචාරක කලාප ඇති කරන අතරතුර, දැනට සංචාරක කලාප ලෙස පවතින හික්කඩුව, උණවටුන වැනි ප්‍රදේශවලත් ගැටලු විසඳමින් තව තවත් සංවර්ධනය කිරීමට අප බලපොරොත්තු වෙනවා.

උණවටුන, හික්කඩුව ආදී ප්‍රදේශවල මූලික වැඩකටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා. මේ ප්‍රදේශවල තරුණ තරුණියන්ට ඒ සම්බන්ධව දැනුම ලබාදීමටත්, ස්වයං රැකියා අවස්ථා ලබාදීමටත් ඒ සඳහා ණය මුදල් ලබාදීමටත් අවශ්‍ය වැඩසටහන් අප දැන් සිදු කරමින් සිටිනවා. එම නිසා සංචාරක අැමැතිතුමාත්, දක්ෂිණ සංවර්ධන අැමැතිතුමාත් හමු වී සාකච්ජා කරමින් මේ ප්‍රදේශවල මූලික සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ගාල්ල සංවර්ධනයත් නතර නොකර ඉදිරියට ගෙන යා යුතුයි. තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටු කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් අප රටේ මුදල් ආරක්ෂා කර ගත යුතුයි. මධ්‍යම සහ දීර්ඝ කාලීන වශයෙන් අප ලබාගත් තීන්දු තීරණ හේතුවෙන් රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට අපට හැකියාව ලැබී තිබෙනවා. එම නිසා මට මෙම අවස්ථාවට සහභාගිවීමට ආරාධනා කළ ස්වදේශ කටයුතු අැමැතිතුමාටත්, එම අමාත්‍යාංශයටත් මගේ ස්තූතිය පිරිනමනවා.

ස්වදේශ කටයුතු අැමැති වජිර අබේවර්ධන මහතා -

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අැමැතිවරයෙකු වශයෙන් සිටි සේනපාල සමරසේකර මහතා 1977දී අක්මීමන මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරම්භ කළා. අද වනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය වන පහසුම් මදි. නව ගොඩනැගිල්ලක් වීවෘත කිරීමෙන් පසු නිලධාරීන්ට පහසුවෙන් කටයුතු කළ හැකියි. ස්වදේශ කටයුතු ඇමැතිවරු වශයෙන් විජයානන්ද දහනායක ,රිචට් පතිරණ යන ඇමැතිවරුන් හිටියා. ඒ අයට අවශ්‍ය කරන සහය ඒ කාලේ පැවති ආණ්ඩු මඟින් ලබා දුන්නේ නෑ. ග්‍රාම රාජ්‍ය 14000ක් දිවයින පුරා හදනවා. ගමේ රාජ්‍ය නිලධාරීන් සඳහා නිල සෙවන කාර්යාල හදනවා.

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ අැමැති ගයන්ත කරුණාතිලක මහතා-

1992දී අපි මෙම කාර්යාලය නවීකරණය කිරීමේ කටයුතු කළා. මේ වගේ හදලා වීවෘත කළා. අපේ දිස්ත්‍රික්කයට ස්වදේශ කටයුතු ඇමැති කෙනෙක් ලැබිලා තියෙනවා.ලංකාව පුරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගොඩනැගිලි ලබා දීමට මෙන්ම අවශ්‍ය සම්පත් ලබා දීමට ක්‍රියා කරනවා. සංචාරක ව්‍යාපාරය ආරම්භ කෙළේ ජේ . ආර්. ජයවර්ධන මහතායි. ඒ බෙන්තොටින්. ඒ වෙලාවේ විරුද්ධවාදීන් කිව්වා අපේ ආණ්ඩුවක් පැමිණිවිට මේ සංචාරක හෝටල් රෝහල් බවට පත් කරනවා කියලා. දකුණු වෙරළ තීරයේ සංචාරක කර්මාන්තය විශාල ලෙස දියුණු වී තිබෙනවා. ඇල්පිටිය ප්‍රදේශයේ අක්කර 1800ක සංචාරක කලාපයක් ඇති කරනවා.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතා-

පසුගිය දෙවසරක කාලය තුළ අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ කෝටි 1200කට අධික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නවීකරණය කිරීමෙන් පසු මෙහි නිලධාරීන්ට පහසුකම් සහිතව රාජකාරී කටයුතු කර ගැනීමට හැකි වේවි. වැඩ නතරකර තිබුණ කරාපිටිය මාතෘ හා ළමා රෝහලේ වැඩ මේ ආණ්ඩුව මඟින් යළි ආරම්භ කර ඉදිකිරීම් කටයුතු නිම වෙමින් පවතිනවා.

දකුණු පළාත් කෘෂිකර්ම අැමැති යූ.ජී.ඩී. ආරියතිලක , අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහෙවත්ත , අක්මීමන ප්‍රාදේශීය ලේකම් තුෂාරි ජාගොඩ, අක්මීමන සහකාර ප්‍රාදේශීය ලේකම් නිලුකා සූරිආරච්චි යන මහත්ම මහත්මිහුද මෙහිදී කතා කළහ.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අැමැති ජේ.සී. අලවතුවල, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අැමැති මනුෂ නානායක්කාර, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ,විජේපාල හෙට්ටිආරච්චි,හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක නිතිඥ තාරක නානායක්කාර,දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන්ද, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්.ටී.කොඩිකාර, ගාල්ල දිසාපති කමල් රණසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වුහ.

ඉමදුව සමුහ,හින්දුම විශේෂ සහ අක්මීමන විශේෂ
ඡායාරූප - අගමැති මාධ්‍ය ඒකකය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();