වත්මන් ආණ්ඩුව රණවිරුවන්ට කිසිදු අසාධාරණයක් කර නැති බව “වයඹ රණ අබිමන් රණවිරු ස්මාරකය’ විවෘත කරමින් ජනපති කියයි
වත්මන් ආණ්ඩුව රණවිරුවන් දඩයම් කරණ බවට විරුද්ධ පාක්ෂිකයින් චෝදනා නගන නමුත් ආණ්ඩුව කිසිදු අවස්ථාවක රණවිරුවනට අසාධාරණයක් සිදුකර නොමැති බවත්, රට දැය වෙනුවෙන් ඔවුන් කරනු ලබන සේවය මිලකළ නොහැකි ගෞරවාන්විත අබිමානවත් සේවාවක් බවත්, එය රටේ සියලු ජනතාවම අනුමතකරණ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුරුණෑගලදී පැවසීය.
දේශපාලන කටයුතු සඳහා රණවිරුවන්ව කිසිදු අවස්ථාවක යොදවා නොගතයුතු බවත්, ඇතැම් අය බලයට එන්නට පවා රණවිරුවන්ව උපයෝගීකර ගන්නට උත්සාහ කරණ නමුත් එය මේ රටේ මිනිසුන් නොකළයුතු කාර්යයක් බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයට ආසන්නව වෙලගෙදර ක්‍රීඩාංගණය ඉදිරිපිට ළමා ක්‍රීඩාංගණයෙහි ඉදිකරණ ලද”වයඹ රණ අභිමන් රණවිරු ස්මාරකය” විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපතිවරයා එසේ පැවසීය. අධික වර්ෂාවද නොසලකා කුරුණෑගලට පැමිණි ජනාධිපතිවරයාව පිළිගන්නා ලද්දේ වයඹ ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක මහතා ප්‍රමුඛ වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන් සහ යුදහමුදා කාර්ය මණ්ඩලය මගිනි.
රණවිරු ස්මාරකය විවෘත කිරීම සඳහා සහභාගිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනතුරුව උත්සව සභාවට සහභාගි විය.
ජාතිකගීය ගායනා කිරීමෙන් අනතුරුව සර්ව ආගමික වතාවත්ද එහිදී පැවැත්විණි. වයඹ පළාතේ රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් දහස් ගණනක් මෙම උත්සව අවස්ථාවට සහභාගිවී සිටියහ.
එහිදී වැඩිදුරටත් කතාකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.
මේ රටේ රණවිරුවන්ගේ සේවය, කැපවීම, වීරත්වය, එඩිතර බව හා අධිෂ්ඨානය සිහිපත්කරමින් නව ස්මාරකය විවෘත කරන්නට හැකිවුණා. වර්ෂාව ඇතිවුණත් එය බාධාවක් වුනේ නැහැ. මෙම වර්ෂාව අවශ්‍ය දෙයක්. එය ආශිර්වාදයක් වශයෙනුයි හැඳින්විය යුත්තේ. අව්ව වැස්ස, සුළඟ කියා මිනිස්සු තම කාර්යයන් අත්හැරියේ නැහැ. කළයුතු දෑ කළා. නමුත් ස්වභාව ෙමයට අනුව අසාර්ථක වෙනවා. අභියෝගයන්ට මුහුණ දෙන්නට ද වෙනවා.
වයඹ පළාත තුළ මියගිය රණවිරුවන්ගේ සංඛ්‍යාව හාර දහසකට ආසන්නයි. රට වෙනුවෙන් මියගිය රණවිරුවන්ගේ ප්‍රමාණය තිස් දහසකටත් ආසන්නයි. යුද්ධයේදී ආබාධිතවූ රණ විරුවන් නව දහසක් ප මණ සිටිනවා. ත්‍රස්තවාදීන්ව පරාජයකර, මාතෘභූමිය නිදහස්කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන්කළ රණවිරුවන් ජීවිත පරිත්‍යාග කළ බව අප අමතක නොකළ යුතුයි. ඔවුන් තම ශරීරයේ අවයව පවා පරිත්‍යාග කර තිබෙනවා. ඇතැම් අය ආබාධිතවුණා. පවුල් පිටින් ඔවුන් කඩා වැටුණා. නමුත් රට වෙනුවෙන් ඔවුන් කළ කැපවීම අති විශාලයි. මැයි මාසය රණවිරුවන් වෙනුවෙන් වෙන්කළේ රටතුළ නිදහස තහවුරු කළ ඔවුන් සිහිකිරීමටයි. ඒ වෙනුවෙන් වූ ජාතික උළෙල ළඟදීම පැවැත්වීමටත් අප සූදානම්.
පසුගිය ආණ්ඩු කාලයේදීත් ආබාධිත වූ රණවිරුවන්ට රණවිරු පවුල්වලට සහන ලබා දුන්නා. වසර තුනහමාරක කාලය තුළ ආබාධිත රණවිරු පවුල්වලට දීමනා වැඩිකරදීමට හා අධ්‍යාපන කටයුතු නංවාලීමට ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු කර තිබෙනවා. කෙනෙක් වරප්‍රසාද දීමනා හා මුදල් ලබා දුන්නත් ඔවුන්ගේසේවය මුදලින් මිලකළ නොහැකියි. එය ගෞරවාන්විත සේවයක්. ජනතාව තුළ රණවිරුවන් පිළිබඳව තිබෙන භක්තිය ආදරය හා ඔවුන්ගේ සේවාව මෙන්ම ලැබූ ජයග්‍රහණ ගැනද අභිමානය ඉතා ඉහළයි.
යුද්ධය පැවති කාලයේ අප හමුදාව, ලෝකයේ ඉතාමත් විනයගරුක පිරිසක් වශයෙන් ජාත්‍යන්තරය පවා පිළිගන්නා තත්ත්වයට කටයුතු කළා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බැලීමේදී දූපත් රාජ්‍යයක් වශයෙන් වසර ගණනාවක් විදේශීය ආක්‍රමණවලට මුහුණ දී තිබෙනවා. විදේශීය රටවල්වලට අප යටත්වෙලා සිටියා. ආක්‍රමණවලට මුහුණදුන් සටන්කාමී ඉතිහාසයක් තිබෙන ජාතියක් තමයි අපි. සිංහල ජාතියට සටන්කාමී ඉතිහාසයක් හිමියි. 1948 දී අප නිදහස ලබාගන්නා විට සිංහල, දෙමළ, මුස්ලිම් නායකයින් සහෝදරත්වයෙන් යුතුව පෙනී සිටියා. ඒ අනුව 1948 දී අපට නිදහස ලබා ගන්නට හැකිවුණා. සටන්කාමී ජාතියක් වශයෙන් වූ ඒ. ජීව ගුණය අපේ ජනතාව තුළ තිබෙනවා.
රණවිරුවන් මිය ගිය පවුල්වල උදවියව කිසිවිටෙකත් දේශපාලනයට පාවිච්චි නොකළ යුතුයි. බලය ලබාගන්නට, දේශපාලන කටයුතු වර්ධනය කරගන්නට ඒවා නොකළ යුතුයි. මනුෂ්‍යත්වය හඳුනාගත් සදාචාර ජාතියක් වශයෙන් අප ඒවා අත්හල යුතු බවයි මම කියන්නේ. අප ආණ්ඩුවට අද විපක්ෂයේ උදවිය චෝදනා නගනවා අප රණවිරුවන් දඩයම් කරන බවට. ලොකුම රණවිරු දඩයම කෙළේ එදා ආණ්ඩුවයි. හමුදාපතිවරයාගේ පටිගලවලා , ජම්පරය අන්දවලා හිරේ දැම්මා. අපි කිසි දිනෙක එවන් දේවල් කළේ නැහැ.
පසුගිය වසර තුනහමාර තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ මානව හිමිකම් කොමිසම සමඟ ලෝකයේ අනිකුත් මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කර අප ආරක්ෂක හමුදාවන් නිදහස් කර ගන්නට අප කටයුතු කළා. මොන චෝදනා තිබුණත් මෙරටට ජාත්‍යන්තර අධිකරණයේ ඇඟිලි ගැසීම් වලක්වාගන්නට, විදුලිපුටුව මගහරවන්නට , මානව හිමිකම් සංවිධාන මඟින් විදේශීය විනිශ්චයකාරවරුන් මෙරටට ගෙන්වා ගැනීම වලක්වා ගන්නට අපට හැකියාව ලැබුණේ අප ආණ්ඩුව අන්තර් ජාතික වශයෙන් ක්‍රියාත්මක කළ නිවැරදි වැඩපිළිවෙළ නිසයි. මේ ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්නටයි “රණවිරු දඩයම්” කතාව ගෙන යන්නේ.
හමුදාවේ ඇතැම් අය පසුගිය කාලයේදී මිනීමැරුම් සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන්, ඔවුනට හිරිහැර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණා. ඒවා රණවිරු දඩයම් නොවේ. සැබෑ ලෙසම යුද්ධයට සහභාගි වූ අයට, ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට අපි කිසිදු හිරිහැරයක් කරලා නැහැ. ඔවුනට හිමි නිසි ගෞරවය අපි ලබාදී තිබෙනවා.
එදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී ආබාධිත රණවිරුවන් හා පොලිසිය සමඟ ගැටුමක් ඇතිකළා. නොයෙකුත් නිවේදන නිකුත් කළා. ආබාධිත රණවිරුවන්ව ගෙන ආවේත් ඒ අයම තමයි. කොළඹ ප්‍රදේශයේ රස්තියාදු කාරයින් , යාචකයින් ගෙනවිත් පොලිසිය සමඟ ගැටුම් ඇතිකළා. අපි ඒ සියලු දෙනාවම සොයා ගත්තා. ආබාධිත රණවිරුවන්ව යොදා ගනිමින් දේශපාලන වාසි ගන්නට ඇතැම් අය උත්සාහ ගන්නා අයුරු දක්නට ලැබුණා.
මම ජනාධිපතිධුරයට පත්වෙන අවස්ථාවෙහි අන්තර් ජාතිකවශයෙන් මේ රට තිබුණේ කොතැනද. මම තිබුණු සියලුම බාධා ඉවත්කර ගත්තා. පසුගිය ජනපතිවරණයේදී අප බලයට පත් නොවුනා නම් මේ වනවිටත් විදේශීය විනිසුරුවරු මේ රටට ඇවිල්ලා. මේ රටට සම්බාධකත් පනවලා. මා ජනපති වනවිට එම කටයුතු පටන් ගන්නට ඔන්න මෙන්න තිබුණා. බදු සහන නවත්වන්නට සූදානම්ව තිබුණා. නමුත් ඒවා සියල්ලම අපි නවත්වා ගත්තා.
අපේ ධීවර නිෂ්පාදනවලින් එදා පිට රටට දෙන්නට හැකියාව ලැබුණේ සියයට හැටයි. මම හැම නායකයෙක් සමගම සුහදව කතාකර මේ රටේ ගෞරවය ආරක්ෂාකරගන්නට කටයුතු කළා. සමාජය කරා අද වේගයෙන් ගලාගෙන යන්නේ අසත්‍යයයි. සත්‍යය ඒ වේගයෙන්ම යන්නේ නැහැ. අපව අපහසුතාවයට පත්කරන්නයි එවන් කටයුතු සිදුකරන්නේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය තවමත් අපට එරෙහිව කටයුතු කරනවා. මම ලන්ඩනයට ගිය වෙලාවෙත් එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් ශ්‍රී ලංකාවට එරෙහිව එහිදී උද්ඝෝෂණය කළා. මහ රැජින පවා ඒ ගැන මගෙන් ප්‍රශ්න කළා. අද උතුරේ ජනතාව අපෙන් ඉඩම් ඉල්ලනවා. යුධ හමුදාව සතුකරගෙන තිබූ උතුරේ ජනතාවගේ ඉඩම්වලින් සියයට අසූපහක්ම අපි මේ වන විට නිදහස් කර තිබෙනවා. රණවිරුවන් දඩයම් කරණ බවට විපක්ෂය කරණ චෝදනාවන් පට්ටපල් බොරුවක්. අද ජාත්‍යන්තරය පවා මේ ආණ්ඩුව ගැන පැහැදීමකින් සිටින බව කිවයුතුයි.
රණවිරුවන්ව දේශපාලනයට යොදවා ගැනීමට කටයුතු කිරීම නොකළ යුතු දෙයක්. අද එවන් කුමන්ත්‍රණකාරී වැඩක් සිද්ධවෙනවා. ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්නයි ඒවා කරන්නේ. පසුගිය රජයේ අවසන් කාලයේ මම රාජ්‍ය ආරක්ෂක ඇමැති වශයෙනුත් කටයුතු කළා. අවස්ථා පහකදීම එල්.ටී.ටී.ඊ. සංවිධානය මාව මරන්නට උත්සාහ කළා. මාව මරන්නට ආපු මිනිහාටත් මම නිදහස ලබාදී තිබෙනවා. අපේ හමුදාවට ලබා දියයුතු ඉහළම ගෞරවය මම මේ වනවිටත් ලබාදී තිබෙන බව කිව යුතුයි. වයඹ පළාත රණවිරුවන් වැඩිවශයෙන්ම සිටින පළාත බව අපි පිළිගත යුතුයි. ඉදිරියේදීත් රණවිරුවන්ට හිමි ගෞරවය ඒ ආකාරයෙන්ම ලැබෙන බව කිවයුතුයි.
වයඹ ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක මහතා
කුරුණෑගල - දඹුල්ල ප්‍රධානමාර්ගය පුළුල් කිරීමේදී එදා එහි තිබූ රණවිරු ස්මාරකය ඉවත් කරන්නට සිදුවුණා. ඒ පිළිබඳව වැරදි අවබෝධයකින් යුතුව සමහරු උද්ඝෝෂණයක් කළා. අද ජනාධිපතිතුමාගේ සහායෙන් අලුත් අභිමානවත් රණවිරු ස්මාරකයක් ඉදිකරන්නට හැකිවී තිබෙනවා. වයඹ පළාත වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් 4135 දෙනෙකුගේ නම් එයට ඇතුළත්කර තිබෙන බවද කිවයුතුයි. රණවිරු ස්මාරකය අභිමානවත්ව ඉදිකරන්නට යුද හමුදා ඉංජිනේරු බළකාය ලබාදුන් සහායද මෙම අවස්ථාවෙහි ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි ද පැවසීය.
කුරුණෑගල - දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත්කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය ඉදිකර තිබෙනවා. වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් පෙර ස්මාරකය පැවති කුරුණෑගල, මාළිගා පිටිය ක්‍රීඩාංගණය අසළම ඉදිකර තිබෙන මෙහි සියලු ඉදිකිරීම් ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකාය විසින් සිදු කර තිබෙනවා.
රණවිරු අභිමානය සුරැකෙන පරිදි පෙර පැවැති ස්මාරකයට වඩා අභිමානවත් සහ වයඹ පළාතේ දිවිදුන් සියලු රණවිරුවන්ගේ තොරතුරු ඇතුළත් වන පූර්ණ ස්මාරකයක් ලෙස මෙය ඉදිකර තිබෙන අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 27කි.
ඉතා පැහැදිලි ලෙසම මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉඩ ලබාගැනීමේ ප්‍රමුඛ අවශ්‍යතාවය මත මෙම රණවිරු ස්මාරකය තාවකාලිකව ඉවත් කිරීම සිදුවුව ද රජය විසින් රණවිරුවන් අමතක කර දමා ඔවුන්ගේ ස්මාරක බිඳ හෙළන්නට පටන්ගෙන ඇති බව සඳහන් කරමින් එයට දේශපාලනික මුහුණුවරක් ලබාදෙන්නට යම් පිරිසක් උත්සාහ කළ අයුරු පසුගිය සමයේ දක්නට ලැබුණි.
එමෙන්ම මීට විරෝධය පළ කරමින් එම ස්ථානයේ උද්ඝෝෂණ කිහිපයක් පවා පැවැත්වුණු අතර 2016 වසරේ අගෝස්තු 31 වැනි දින උත්සවයක් සඳහා සහභාගිවීමට කුරුණෑගලට පැමිණි ජනාධිපතිතුමා මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ වහාම වඩාත් නිර්මාණශීලී රණවිරු ස්මාරකයක් එම ස්ථානයේ ඉදිකරන බවට ලබාදුන් පොරොන්දුව මත මෙම රණවිරු ස්මාරකය ඉදිකිරීම සඳහා 2016 නොවැම්බර් 30 වනදා මුල්ගල් තැබිණි.
වයඹ පළාත් සමූපකාරිකයින් විසින් රණවිරු සුබසාධන අරමුදල හරහා ස්මාරකයේ ඉදිකිරීම් වෙනුවෙන් පිරිනමන ලද මුල්‍ය ප්‍රදානයට අදාළ චෙක්පත පළාත් සමූපකාර ඇමැති පියසිරි රාමනායක මහතා ජනාධිපතිතුමා වෙත පිරිනැමීය. ජනාධිපතිතුමා එම චෙක්පත වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.
වයඹ පළාත් ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක මහතා විසින් රණවිරු ස්මාරකයේ ආකෘතිය ඇතුළත් සමරු තිළිණයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ඇමැති ෆයිසර් මුස්තාෆා, ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බණ්ඩාර රැකව, වයඹ පළාත් ආණ්ඩුකාර කේ. සී. ලෝගේස්වරන්, හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්. රණසිංහ යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කුරුණෑගල දකුණ සමූහ වයඹ පළාත් සංචාරක සහ කුරුණෑගල මධ්‍යම විශේෂ
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය


0 Comments