පොල් සංවර්ධන අධිකාරියට ‘ජංගම රසායනාගාර රථය’ පිරිනමමින් ඇමැති නවීන් කියයි
පොල් නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කර එම ක්ෂේත්‍රය වෙනුවෙන් උපරිම සේවාවක් සිදු කිරීම සඳහා උතුරු නැඟෙනහිර පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවැසීය.
නාරාහේන්පිට පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී ඉකුත් දා පැවැති ‘ජංගම රසායනාගාර රථය’ පොල් සංවර්ධන අධිකාරිය සතු කිරීමේ උත්සවයට එක් වෙමිනි.
එහි දී ඇමැති නවීන් දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ ද කීය.
සෑම ආයතනයකම සේවක සේවිකාවන් සතුටින් සිටිය යුතුයි. තාඩන පීඩන නැතිව ඒ අයට ස්වාධීනව කටයුතු කිරීමට හැකි විය යුතුයි.
අදාළ ක්ෂේත්‍රවල ඉදිරියට යාමට දියුණුව ඇති කිරීමට දේශපාලනඥයන් ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුයි. එසේ තීරණ නොගැනීම නිසා රට තුළ ගැටලු පැන නඟිනවා. මේ නිසා ප්‍රතිපත්තියට මූලිකත්වය දිය යුතු බවයි මගේ හැඟීම.
පොල් ක්ෂේත්‍රය විවෘතව නොපෙනෙන ක්ෂේත්‍රයක්. වගාකරුවන් පළිබෝධ ඒවි කියා බියෙන් සිටිනවා. මේ බිය පොල් ඇතුළු අනෙකුත් සංවර්ධන භෝග කෙරෙහිද පවතිනවා.
පොල් සම්බන්ධ ගුණය පිළිබඳ ලෝකය ‘සුපර්ෆුඩ්’ යනුවෙන් පොල් හඳුන්වන්නෙ.
මෙරට පොල් වගාව පසුගිය කාලයේ නියඟය හේතුවෙන් කඩා වැටීමකට ලක් වුණා. ස්වභාවික කරුණු අපට පාලනය කළ නොහැකියි. නමුත් වැදගත් ප්‍රතිපත්තිමය තීරණ මගින් ගැටලු අවමකර ගැනීමේ හැකියාව තිබෙනවා.
වසරක් පමණ සටන්කර පොල් මද පිටරටින් ගෙන්වීමට හැකියාව ලැබුණා.
අවශ්‍යතාව අනුව මෙය සිදු කෙරුණ ද ශ්‍රී ලංකාව පොල් ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගෙන යායුතුයි.
නියඟ තත්ත්වය පහව යමින් පොල් වගාව මේ වන විට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන නිසා යථා තත්ත්වයට ගෙන ආ හැකි බව අදාළ අංශ සඳහන් කරනවා. ඒ දත්ත සත්‍ය ද කියා මා සොයනවා. මේ කටයුතු සඳහා මුළා නොවන මනසක් අවශ්‍යයි.
දේශපාලනඥයෙක් ලෙස බිම, ගම හොඳයි කියනවා. යථාර්ථය, ඇත්ත හඳුනාගෙන කටයුතු කිරීමයි අප කළ යුතු වන්නේ. එවිටයි ජනතා ගැටලුවලට පිළිතුරු සෙවිය හැකි වන්නෙ.
ඛනිජ තෙල් වැඩිවීම සම්බන්ධයෙන් රටේ විවිධ කතා තිබුණත් මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේ දීත් ඉන්ධන මිල ඉහළ ගියා. මෙය වර්තමානයේ පමණක් වූ ගැටලුවක් නොවේ.
ජාත්‍යන්තර මිල සමඟ සමව අපට කටයුතු කරන්න සිදු වෙනවා. මේ නිසා අපට පාඩු ලබමින් ඉදිරි සංවර්ධනය සිදු කිරීමට නොහැකියි.
පොල් සංවර්ධන අධිකාරියේ ඉදිරි දැක්ම සෘජුව ඉදිරියට සිදු කරන ලෙස මා උපදෙස් ලබා දී තිබෙනවා.
මේ ක්ෂේත්‍රයේ කටයුතු සිදු කිරීමේ දී සියලු දෙනා එක හඬින් කියනවා නම් මා ඕනම දෙයක් කරනවා. නමුත් එවැනි එකමුතු කමකින් ක්‍රියාත්මක වීමක් දැකිය නොහැකි අතර. එක් එක් අය විවිධ අදහස් හා යෝජනා ගෙන එනවා.
පොල් නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කිරීමට උතුරු නැඟෙනහිර පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීම කළ යුතුයි. නැතිනම් මේ ක්ෂේත්‍රය වෙනුවෙන් උපරිම සේවාවක් සිදු කිරීම අසීරුයි. පොල් ‘අවුට් පුට්’ එක 30%කින් තව දුරටත් වැඩි කළ යුතුව තිබෙනවා. ටීම් වර්ක් එකක් ලෙස මේ ක්ෂේත්‍රයේ කටයුතු බෙදීමකින් තොරව සිදු කළ යුතුව තිබෙනවා.
මෙහි දී රටේ වර්තමාන ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද සඳහන් කෙළේය.
රටේ ජනතාව වෙනුවෙන් සහන ලබා දීමට මුදල් අවශ්‍යයි. සහන වැඩි කිරීම මිස කපා හැරීමක් සිදු වෙන්නේ නැහැ.
කෙසේ වුවත් විවිධ හේතු නිසා ජනතාව ඡන්දය පාවිච්චියේ දී විරෝධතාවය පෙන්වා තිබෙනවා. පොහොර, වල් නාශක, බඩු මිල, රැකියා ගැටලු ආදී කරුණු නිසා පොහොට්ටුවට වැඩි ඡන්දයක් ලැබී තිබෙන බව පෙනී යනවා.
මේ ඡන්දයේ දී එජාපය හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිල් දෙක එක්කළොත් 53%ක් පමණ ඡන්ද ප්‍රතිශතයක් තිබෙනවා. ඒ අනුව එකමුතුවේ ඡන්ද එසේම තිබෙනවා. අනෙකුත් ජාතික ඡන්ද වෙනම තිබෙනවා. සියල්ල එකතු කළොත් 60% තිබෙනවා.
නමුත් ගැටලු තිබෙනවා. ඒ නිසා ජනතාව බණිනවා. කනස්සල්ලෙන් සිටිනවා. අප ජනතා සුබවාදී ආණ්ඩුවක් කියා කියන් නැහැ. එසේ වීමට නොහැකි වූ ප්‍රධානම හේතුව පසුගිය රාජපක්ෂ පාලනයේ ණය මේ ආණ්ඩුවට ගෙවන්න සිදුවීම.
රුපියලක් උපයනවා නම් එයින් ශත 90ක් ණය ගෙවනවා. ඉතිරි ශත 10යි. මේ ක්‍රමයෙන් අප මිදිය යුතුයි. මේ නිසා සහන සියල්ල දෙන්න බැහැ. කපා දමන්නත් බැහැ. මේ නිසා අප දෙපාර්ශ්වයම පරිත්‍යාගයන් කළ යුතුයි.
ඇමැති ධුර අවම කිරීම, මැති ඇමැතිවරු පාවිච්චි කරන රථවාහන ප්‍රමාණ අවම කිරීම, වියදම් කපා හැරීම සිදු කරනවා. ගැටලු, අමාරුකම් තිබුණ ද ඉදිරි මැතිවරණවලට අප මුහුණ දෙනවා.
පොල් සංවර්ධන අධිකාරියේ සභපති උදය රූපසිංහ මහතා- මහා නියඟයක් සමඟ පොල් ගස් විනාශ වෙමින් පොල් කර්මාන්තය අර්බුදයක තිබුණු අවස්ථාවකයි අප මෙය බාර ගත්තේ. මිල ඉහළ යාම නිසා නිතර අදාළ නිලධාරීන් සමඟ ගැටුම් පවා ඇති වුණා. මේ නිසා අවසානයේ පොල් මද මෙරටට ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ අනුව පොල් කිරි සාධාරණ මිලකට මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබී තිබෙනවා. වර්තමානය වන විට පොල් කර්මාන්තය ඉදිරියට ඇවිත්. පොල් සංවර්ධන අධිකාරිය මවුපියන් ලෙස කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමටත් කර්මාන්තය රැක ගැනීමටත්, දුකේදීත් සැපේදීත් සිටිනවා. මේ අනුවයි පොල් සම්බන්ධ කටයුතු සඳහා ජංගම රසායනාගාරයක් ලබා ගැනීමට ද කටයුතු කළේ.
මේ ජංගම පර්යේෂණාගාරය නවීන පර්යේෂණාගාරයක තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 129ක පමණ පිරිවැයක් දැරීමට සිදු වුණා. නවීන තාක්ෂණයෙන් පිරිපුන් රසායනාගාරයක් වන මෙහි තිදෙනකු වැනි සුළු සේවක පිරිසකගෙන් වුවද වැඩි සේවාවක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව ආසියාවේ හොඳම පොල් රසායනාගාරය අපට හිමිව තිබෙන බව නොබෝ දිනකින් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට අප කටයුතු කරනවා.
මෙමගින් කර්මාන්ත බිමේ සිට පර්යේෂණ කළ හැකියි.
පොල් වතුර, පොල් සේදීමට ගන්නා ජලය, පොල්, පොල් තෙල්, කිරි, කොහු, කොහු බත් ආදී සියලු දේ පරීක්ෂාවට ලක්කර එය පාරිභෝගිකයාට සුදුසු නිවැරැදි ක්‍රමයට සිදු වන්නේ ද, වෙනත් ගැටලු තිබේද යන්න හඳුනා ගැනීමට එම බිමේ දීම හැකියාව මෙමගින් තිබෙනවා. මේ සඳහා වියදම් කළ මුදල වසර දෙකකින් පමණ උපයා ගැනීමට හැකි වෙතැයි අප සිතනවා.
පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණී විජේසිංහ මහතා ද එහි දී අදහස් දැක් වූ අතර, පොල් පර්යේෂණ ආයතනයේ සභාපති ජයන්ත ජයවර්ධන, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහත්වරු ඇතුළු නිලධාරීන් හා සේවක සේවිකාවන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. එහි දී පොල් සංවර්ධන අධිකාරියේ වසර විස්සක සේවා කාලයක් සපුරන ලද සේවකයන් ඇගයීමට ලක්කරමින් උපහාර පුද කිරීම හා එම අධිකාරියේ සුබ සාධක සංගමය විසින් පැවැත් වූ ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග පිරිනැමීම ද ඇමැති නවීන් දිසානායක, පොල් සංවර්ධන අධිකාරියේ සභපති උදය රූපසිංහ මහත්වරු අතින් සිදු කෙරිණි.
ඡායාරූප - නිරෝෂ් බටේපොල


0 Comments