කොළඹ අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස ගැටලුව විසඳන්න මිලියන 17,000ක් වෙන් කළා
*දෙමටගොඩ ‘සියපත් සෙවණ’ විවෘත කිරීමේ උත්සවයේ දී ඇමැති පාඨලී කියයි
කොළඹ අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස ගැටලුව සියයට 100 කින් විසඳන බවත් කොළඹ නගරයේ නිවාස වැඩපිළිවෙළ වෙනුවෙන් රුපියල් මිලියන 17, 000ක් වෙන් කර ඇති බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. කොළඹ අඩු ආදායම්ලාභී එක් පවුලකට රුපියල් ලක්‍ෂ 50ක ආයෝජනයක් සිදු කරන අතර, එහි නියම ප්‍රතිඵලය ජනතාව ලබාගත යුතු බවත් චම්පික රණවක මහතා සඳහන් කළේය.
දෙමටගොඩ, ආරාමය පෙදෙසේ රුපියල් මිලියන 1, 748ක ආයෝජනයකින් ඉදි වූ නිවාස 437 කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවැරීමේ අවස්ථාවට පසුගිය දා (10) සහභාගී වෙමින් ඒසේ කී රණවක මහතා රජයේ කොන්ත්‍රාත්කරුවන්, දේශපාලනඥයන්ට කප්පම් ගෙවීමේ යුගය අවසන් කළ බව ද කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් දෙමටගොඩ සියපත් සෙවණ නිවාස ව්‍යාපෘතිය විවෘත විය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා,
කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට නිසි නිවසක් ලබාදීම සඳහා පසුගිය දශක 4ක 5ක පමණ කාලයක් තුළ බොහෝ ආණ්ඩු බොහෝ උත්සාහයන් දරා තිබෙන බව අපි දන්නවා. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා, පීටර් කෙනමන් ඇමැතිවරයා ඒ වගේම ඉන් පසුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමයේ ඉන්දික ගුණවර්ධන මහතා වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වකවානුවේ එතුමාම මේ උත්සාහයන් ගණනාවක් ගනු ලැබුවා. නමුත් අද අපි අධිෂ්ඨාන කරගෙන තිබෙනවා මේ ප්‍රශ්නය සියයට 100ක්ම විසඳාලීම වෙනුවෙන්. මෙරට සියයට 100ක් ප්‍රශ්න විසඳිලා තිබෙන්නේ තැන් කිහිපයක පමණයි.
අද අපි ත්‍රස්තවාදය පරාජය කරලා සාමය සියයට 100ක් ලබාගෙන තිබෙනවා. මේ කලාපයේ අනෙක් තැන්වල වගේ බය සැක නැති නුවරක්, ගමක් අපි නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම මේ රටේ සෑම නිවසකටම අද සියයට 100ක් විදුලිය ලබා දී තිබෙනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙළ විවිධ ආණ්ඩු කරගෙන ආවා නමුත් එදා අපි 2010 දී දිදුලමු ලංකා වැඩපිළිවෙළින් සියයට 100ක් මේ රටේ විදුලිය ලබාදීම සිදු කළේ. මේ රටේ සියයට 100ක් ජංගම දුරකථන ජාලය ව්‍යාප්ත වී තිබෙනවා. ඒ අතරට සියයට 100ක් නිවාස හිමි ජනතාව බිහි කර ගැනීමේ වගකීමට අපි අද උර දී සිටිනවා.
මේ වසරේ දී නිවාස වැඩපිළිවෙළ වෙනුවෙන් රුපියල් මිලියන 17, 000ක් වෙන් කර තිබෙනවා. එය අපට විශාල ශක්තියක්. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය නිවාස සංකීර්ණ පමණක් නෙමෙයි බත්තරමුල්ලේ කාර්යාල සංකීර්ණ 3ක් ඉදිකිරීම සඳහාත් මිලියන 25, 000කට අධික ප්‍රමාණයක් ආයෝජනය කරන්න. අද මේ රටේ තිබෙන ඕනම බලගතු පුද්ගලික ආයතනයකට වඩා නාගරික සංවර්ධන අධිකාරිය මූල්‍යමය වශයෙන් ශක්තිමත් බව අපි බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.
ඒ ශක්තිමත් බව අපි ළඟා කර ගත්තේ අපේ පුද්ගලික ගිණුම්වල සල්ලි දාගෙන හෝ අපේ දූ දරුවන්ට මාලිගා අරන් දෙන්න නෙමෙයි. අපේ පැල්පත්වාසී හෝ අඩු වරප්‍රසාධිත ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහාමයි. ඒ වගේම මේ මහා පරිමාණයේ ගොඩනැගිලි ඉදිකරන කොන්ත්‍රාත්කරුවෝ මේ අතින් චෙක්පත අරගෙන අනෙක් පැත්තෙන් දේශපාලකයන්ගේ හිතවතුන්ගේ ගිණුම්වලට කොටස් බැර කරන යුගයක් මේ රටේ තිබුණා. සල්ලි ගෝනි පිටින් ගිනිහිල්ලා මන්දිරවලට බාපු යුගයක් මේ රටේ තිබුණා. රජයේ කොන්ත්‍රාත් කරනවා නම් කප්පම ගෙවීම අනිවාර්යය වී තිබුණා. අද ඒ කොන්ත්‍රාත්කරුවෝ සියල්ලම දේශපාලකයන්ගේ මන්දිරවලට නෙමෙයි මේ දරුවන්ගේ අධ්‍යාපනය ක්‍රීඩා කුසලතාව, සංස්කෘතිය නංවාලීම සඳහා ඒ අරමුදලට දායක වී තිබෙන්නේ.
එදා රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා කොළඹ නගරය මැද තවත් නගරයක් ඉදිකරමින් මාලිගාවත්ත කේන්ද්‍රකර ගනිමින් නිවාස 1500ක් ඉදිකර අඩු ආදායම්ලාභීන් සඳහා දායාද කර දෙනු ලැබුවා. වර්තමානයේ වත්මන් රජය එදා පේ‍්‍රමදාස ජනාධිපතිවරයා සිදු කළාක් මෙන් මාලිගාවත්ත නිවාස සංකීර්ණය වගේ දස ගුණයකටත් වඩා විශාල නගර පහක් අපි ඉදි කරගෙන යන බව ද කිව යුතුයි. ප්‍රධාන වශයෙන්ම දෙමටගොඩ මේ අවට ගොඩනැඟෙන නගරය, උතුරු කොළඹ හේනමුල්ලේ ගොඩනැඟෙන නගරය, මාලිගාවත්ත ප්‍රදේශයේ, කොලොන්නාව, කිරුලපන නගර ඇතුළු නගර පහ ගොඩනැඟෙන අතර, මේ සංවර්ධන කටයුතු සිදු කරන අතරතුර අප ප්‍රාචාරක යුද්ධ සිදු කරන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව මේ සියුම් පණිවිඩය අපේ ජනතාවගේ හදවතට ළඟා කිරීමයි.
ඔබට ලබාදෙන මේ නිවාසය කරුණාකර ඔබේ දූ දරුවන්ට රත්තරන් අනාගතයක් උදා කරන්න රජය කළ මේ බලගතු ආයෝජනය පාවිච්චි කරන්න කියල ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඔබ වෙනුවෙන් එක පවුලකට ලක්ෂ 50ක් රජය ආයෝජනය කර තිබෙනවා. ඔබේ කිසිම මවුපියෙක්ගෙන්, පරම්පරාවකින් එතරම් ධනයක් ජීවිතයට ආයෝජනය වෙලා නැහැ. එහි නියම ප්‍රතිඵලය ලැබෙන්නේ ඔබේ දරුවන්ට. ඒ නිසා ඔබේ දරුවන්ට ඒ ශක්තිමත් යුගයට පියවර මනින්න, ඔබේ දරුවන් අතරින් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා වගේ, අපගේ ජනාධිපතිවරයා වගේ පහළින් ආපු පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධුරයට පත් කර ගැනීම දක්වා ඉදිරියට යන්න මේ ශක්තිය, ධෛර්යය පරිහරණය කරන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.
ටෙලි නාට්‍යවලට, චිත්‍රපටවලට, මැරවර කණ්ඩායම්වලට, පාතාල සාමාජිකයන්ට මේ හැමෝටම තෝතැන්නක් කියලා පෙන්නන්න තිබූ කොළඹ 07 තිබූ එකම වත්ත, තාරවත්ත අද සිට මේ මනරම් නගරයේ කොටසක් බවට පත්වෙනවා. කොළඹ 07න් ජනාධිපතිවරු, අගමැතිවරු බිහි වුණා. හැබැයි කොළඹ හතේම පැත්තක මේ තාරවත්තත් පැවතුනා. අගමැතිවරු ජනපතිවරු බිහි කළ කොළඹ හතේ අද පැල්පත් නොමැති බව අපි ආඩම්බරයෙන් මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා. ඒ නිසා එම නව යුගයට ඔබත් එකතු වෙන්න. ලිපිනය කියන්න ලැජ්ජා වූ අතීතය සම්පූර්ණයෙන්ම අමතක කර මහා නගරය තුළ ගොඩනැඟෙන යුව නගරයේ සාමාජිකයන් හැටියට අභීතව පියවර මනිමුයි කියා ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා.
මෙරට ජනමාධ්‍යවලින් විශේෂ ඉල්ලීමක් කරනවා, කානුවක් ඉතිරුවොත්, වැසිකිලියක ප්‍රශ්නයක් පැන නැඟුණහොත් විශාල වශයෙන් වාර්තා කරන මාධ්‍යවලට මේ නගරය ගැනත්, නගරයේ අලුතින් ජීවිත ගොඩනඟා ගන්නා ජනතාව ගැනත් යුක්තිසහගත ප්‍රචාරණයක් ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ නව නිවාස හිමි ඔබට වගකීමක් තිබෙනවා කසළ විධිමත්ව වර්ගීකරණය කර ලබාදෙන්න, ඇළ මාර්ග අපවිත්‍ර නොකරන්න. මේ නිවෙස් තුළ දුරාචාරයන්ට ඉඩ නොතබන්න, ඔබට ඔබේ දරුවන්ට රන්වන් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත වූ මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන්, එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
චමීර ඇල්ලදෙණිය
ඡායාරූප වාසිත පටබැඳිගේ


0 Comments