මන්දපෝෂණය තුරන් කිරීමට හොඳම විසැඳුම මාෂභෝග ඇතුළු ධාන්‍ය බවත්, ශ්‍රී ලංකාවේ ධාන්‍ය නිෂ්පාදනයට තිරසර වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගිය දා කොළඹ දී පැවති ගෝලීය මාෂභෝග සම්මේලනයේ සමාරම්භක සමුළුව අමතමිනි.
Pulses 18 Colombo ගෝලීය මාෂභෝග (ධාන්‍ය ඇතුළු) ජාත්‍යන්තර සමුළුවේ මෙවර තේමාව වූයේ 'මාෂභෝග - 18 ආහාරයේ අනාගතය' (pulses – 18 The Future of Food) යන්නයි. මේ සමුළුවට රටවල් 40ක පමණ ව්‍යාපාරික ප්‍රජාව සහභාගී වූහ. මෙය ගෝලීය කර්මාන්තය නියෝජනය කරන එකම ජාත්‍යන්තර සම්මේලනය ද වේ. එසේම එය ලොව පුරා පවතින 20කට වැඩි ජාත්‍යන්තර සංගම්වල එකතුවකි. එසේම පුද්ගලික අංශයේ සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් 600කට වැඩි ප්‍රමාණයක් ද මීට එකතුව සිටී.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
"මම මේ අවස්ථාවේ දී ගෝලීය මාෂභෝග සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැන ස්තූතිවන්ත වෙනවා. එය මෙවර කොළඹ දී පැවැත්වීම අපට වාසිදායක වෙනවා. එය අප රටට කළ විශාල ගෞරවයක්. අපේ වාර්ෂික මාෂභෝග ධාන්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1000ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාව ප්‍රෝටීන් ලබා ගන්නා ප්‍රධානතම මාෂභෝගය වන්නේ ධාන්‍ය වර්ගයි. එයිනුත් ප්‍රධානතම වන්නේ රතු පරිප්පුයි. අපි දේශීයව වගා කළ ධාන්‍ය පරිභෝජනය සඳහා ඈත අතීතයේ සිටම හුරුව සිටිනවා. එම නිසා අපේ රටේ රතු පරිප්පු පරිභෝජනය වසරකට මෙට්‍රික් ටොන් 1,50,000ක් පමණ වෙනවා. අපේ වාර්තාවලට අනුව අපි ආනයනය කරන මාෂභෝග ඇතුළු ආහාර ද්‍රව්‍යවලින් සියයට 7%ක්ම වන්නේ රතු පරිප්පුයි. එය අප රටේ ඉතා ජනප්‍රිය මාෂභෝග ධාන්‍ය වර්ගයක් වෙනවා. 2016 දී අපි රතු පරිප්පු මෙට්‍රික් ටොන් 1,54,000ක් පමණ ආනයනය කර තිබෙනවා. අඩුආදායම්ලාභී රටවල්වල ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවය වන්නේ නිර්මාංශ මාෂභෝග නිෂ්පාදනයයි. එම නිසාම අපි මේ මාෂභෝග නිෂ්පාදනය වැඩි දියුණු කරගැනීමට තිරසාර වැඩපිළිවෙළක් යෙදිය යුතු වෙනවා. ඒ සඳහා ගෝලීය මාෂභෝග සම්මේලනයට සුවිශාල මෙහෙවරක් කළ හැකියි."
ගෝලීය මාෂභෝග සම්මේලනයේ සභාපති හුසෙයින් අර්ස්ලාන් මහතා
"මේ ජාත්‍යන්තර සමුළුවේ දී ඇති කර ගන්නා ගිවිසුම ගෝලීය මාෂභෝග නිෂ්පාදකයන්ගේ සාමාජීය හා ආර්ථික අරමුණු ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ළඟා කරගැනීමට උපකාරී වෙනවා. එසේම මේ ගෝලීය මාෂභෝග සම්මේලනයේ සාමාජිකයන් එක්ව වැඩ කිරීම සහ අගය වැඩි දාමයේ හවුල්කරුවන් සමඟ ඉතා කැපවීමෙන් යුතුව වැඩ කරනවා. එමඟින් දැනුම වැඩි දියුණු කිරීම හා ලෝකය පුරා මේ මාෂභෝග නිෂ්පාදන බෙදා හැරීමට ඇති හැකියාව පිළිබඳව දැනුවත් වෙනවා. මිනිසුන් හා සතුන් අතර ධාන්‍ය පරිභෝජනය ඉහළ දැමීම සහ වෙළෙඳ තරාතිරම්, මට්ටම් අතර පුරෝකථනය කළ හැකි සහ විනිවිදභාවයෙන් යුත් පරිසරයක් නිර්මාණය, මාෂභෝග වෙළෙඳාමේ විනය හා ආචාරධර්ම ඉහළ දැමීම ඉතා වැදගත් වෙනවා."
මේ අවස්ථාවට රටවල් 40ක් නියෝජනය කරමින් ගෝලීය මාෂභෝග නිෂ්පාදක ආනයනකරුවෝ ද සහභාගී වී සිටියහ.


0 Comments