ජාතික රණවිරු සැමරුම් උත්සවයේදී ජනාධිපති කියයි
ත්‍රස්තවාදියා කවුද ? රණවිරුවා කවුද ? යන්න පැහැදිලි කර ගැනීමට ඇතැම් අයට නොහැකිවීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. විපක්ෂයේ දේශපාලනඥයන්ටත්, මුදල් ඉපයීමට හා රට අවුල් කිරීමට සාදාගත් රාජ්‍ය නොවන සංවිධානවලටත් රණවිරුවා සහ ත්‍රස්තවාදියා තේරුම් ගැනීමේ හැකියාවක් නැතැයි පෙන්වා දෙන ජනපතිවරයා ඒ සියලු දෙනාටම ප්‍රශ්නයක් දෙස බලන විට ශ්‍රී ලාංකිකයන් නම් දේශීය චින්තනයක් තුළ, අපේකම තුළ, අපේ උරුමයන් තුළ, අපේ ශිෂ්ටාචාරයේ සහ සභ්‍යත්වයේ ගෞරවය සහ අනන්‍යතාව තුළ රට ගැන, ජනතාව ගැන සහ රණවිරුවන් ගැන සිතා කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බවද කියා සිටී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අබියස දී පෙරේදා (19) පැවැති ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපතිවරයා, රාජ්‍ය මාධ්‍යවලට රණවිරුවා පිළිබඳව පැහැදිලි ඇගයීමක් කරන්නට ඔවුන්ට කුමක්දෝ අතපසුවීමක් ඇති වී තිබෙන බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතු බවත් රණවිරුවාට දිය හැකි ගෞරවය සහ සැබෑ රණවිරුවා ජීවිතය පරිත්‍යාග කරමින් කළ කැපකිරීම් පිළිබඳව කිසි විටෙකත් අමතක නොකරමින් ජනතාවට ඒ මතකය අවදි කොට ඔවුන්ට ලබා දිය යුතු ගෞරවය සැම විටම ලබාදෙන ලෙස සඳහන් කෙළේය.
ආරක්ෂක සේවාවල සාමාජිකයින්ට තිබෙන්නා වූ අභියෝගවල දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා අපට එල්ල වූ යෝජනාවලදි ඇතැම් මාධ්‍ය සහ අන්තවාදී සංවිධාන වැරදි ලෙස කොතෙක් විග්‍රහ කළද අපේ ආරක්ෂක හමුදාවන්ට මානව හිමිකම් කොමසාරිස්වරයාගේ යෝජනා තුළ යුද අපරාධ කිසිසේත් නොමැති බවට තමා පැහැදිලිවම සඳහන් කරන බව පැවසූ ජනාධිපතිවරයා ඇතැමුන් යුද අපරාධ තිබෙන බවට සඳහන් කරන බවද එවැන්නක් කිසිසේත් නොමැති බවද පැවසීය. එවැනි යුද අපරාධ සම්බන්ධයෙන් කතා කරන්නේ මුහුදින් එගොඩ සිටින රජයට සහ ආරක්ෂක හමුදාවට විරුද්ධ අන්තවාදි අදහස් දරන එල්.ටී.ටී.ඊ. ට සම්බන්ධ පිරිස් බවද අද දවසේ අපේ වගකීම් සහ යුතුකම් ඉටුකරමින් සහ රණවිරුවාට ඉහළම ගෞරවය ලබාදෙමින් එම පවුල්වලට අවශ්‍ය සුබසාධන ලබාදෙමින් අපේ වගකීම් සහ යුතුකම් සියල්ල ඉටුකරමු යැයි ද ප්‍රකාශ කළේය.
මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝදාර රණවිරුවන්ට සැමදා ජාතියේ උත්තමාචාරය හිමිවන අතර, රණවිරුවන්ට ලබා දියහැකි ඉහළම ගෞරවය සහ ප්‍රණාමය පුද කිරීමට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුබසාධනය උදෙසා රජය අඛණ්ඩව කැපවන බව සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා වසර 30 ක කාලයක් පැවැති ත්‍රස්තවාදය භෞතික වශයෙන් මෙන්ම යුදමය වශයෙන් පරාජය කිරීමට 2009 වසරේ මැයි මාසයේ දී එවකට පැවැති රජයට පුළුවන්කම ලැබුණු බවද සිහිපත් කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානවල පුද්ගලයින් අදත් ඔවුන්ගේ සටන් පාඨය ඉදිරිපත් කරමින් අපේ ආදරණීය මාතෘභූමිය වෙන් කරන්න උත්සාහ කරන බව පෙන්වා දුන් ඒ මහතා ඔවුන් බලාපොරොත්තු වූ තවමත් බලාපොරොත්තු තබා ඇති ඊලාම් රාජ්‍යයක් පිළිබඳව සිහිනය සැබෑ කර ගැනීම අවශ්‍ය වී තිබෙන නමුත් වර්තමාන රජය කිසි විටෙකත් ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිහින, බලාපොරොත්තු කිසිවිටකත් ඉටුවීමට ඉඩ නොදෙන බවද ප්‍රකාශ කළේය.
කතානායක කරූ ජයසූරිය, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ඛණිජ තෙල් කර්මාන් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග, තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති සරත් ෆොන්සේකා, රාජ්‍ය ඇමැතිවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, රුවන් විජයවර්ධන, ආණ්ඩුකාරවරුන් වන රෝහිත බොගොල්ලාගම, හේමකුමාර නානායක්කාර, රෙජිනෝල්ඩ් කුරේ, බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්දු විජේගුණවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


0 Comments