Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පක්ෂය ආරක්ෂාකර ගන්න ශ්‍රීලනිප කණ්ඩායම තීන්දුවක් ගත යුතුයි

Author(s): 
ස්වර්ණා විජේකෝන්

පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ජනපති ප්‍රකාශ කළැයි පා. මන්ත්‍රී දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු දිනය පිළිබඳව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි කණ්ඩායම තීරණය කළ යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුව තුළ රැදී සිටීම මඟින් සිදුවන්නේ පක්ෂය තවදුරටත් විනාශ විම බවත් පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තීන්දුවක් ගත යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ප්‍රකාශ කළ බවත් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

රටේ නායකයා ලෙස නොව පක්ෂයේ නායකයා ලෙස සිතමින් තමන් මේ බව ප්‍රකාශ කරන බවත් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් තින්දු තීරණ ගත යුතු බවට ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ද මේ බව තහවුරු කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පසුගියදා (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා-

යුද්ධය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරමින් සිය ජීවිත පූජාකළ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සඳහා විනාඩියක කාලයක් අපි නිහඬතාව පළ කරමු.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා ආණ්ඩුවට එරෙහිව පසුගිය හතරවැනිදා ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට හෘද සාක්ෂියට එකඟව සහාය පළකරමින් අපි දහසය දෙනා ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළා. එසේ ඉවත් වූ දහසය දෙනාම වෙනුවෙන් අපගේ මතය ජනතාව අතරට ගෙන යමින් පවත්වන පළමු මාධ්‍ය සාකච්ඡාව මෙයයි. ඉදිරියේ දී මේ මාධ්‍ය සාකච්ඡාව හරහා ජනතාව දිගින් දිගටම දුනුම් දෙනවා. අපි දහසය දෙනා සම්බන්ධයෙන් විවිධ මතවාද ප්‍රකාශ ‍ඉදිරිපත් වෙනවා. නමුත් පසුඟිය අටවැනිදා පාර්ලිමේන්තුවේදී නව සැසිවාරය ආරම්භ වීමේදී ජනාධිපතිවරයා අසුන් ගැනීමට ‍පෙර අපි දහසය දෙනාම ආණ්ඩුව පැත්තේ සිට විපක්ෂය දෙසට ගමන් කර විපක්ෂයේ අසුන් ගත්තා. අද දිනයේ දී වූනත් අපි දහසය දෙනාගේ විවිධ වෙනස්වීම් තිබෙන බව සඳහන් කරමින් විවිධ මතවාද ඉදිරිපත් වී ඇති. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් දහසය දෙනා ලෙස අපි තීන්දු තීරණ ගන්නේ කණ්ඩායමක් ලෙස එකට සිටිමින්. අප සම්බන්ධයෙන් ඉදිරිපත් වන මතවාද සියල්ලම අපි ප්‍රතික්ෂේප කරනවා. අපි දහසය දෙනා‍ තීන්දු තීරණ ගන්නේ එකම මතවාදයක, එකම ප්‍රතිපත්තියක සිටිමින්‍.

රජයේ මාධ්‍ය ප්‍රකාශක විසින් රණවිරු දිනය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයට අපි කිසිසේත් එකඟ වන්නේ නැහැ. විශේෂයෙන්ම අපගේ රණවිරුවන් අතින් කිසිම අවස්ථාවක සිවිල් පුරවැසියන් ඝාතනය වී නැහැ‍.අපි දකින්නේ රටටත් රණ විරුවන්ටත් සිදුකළ බරපතළ අසාධාරණ ප්‍රකාශයක් ලෙසයි.

රණවිරුවන් රටට අභිමානයක්,ගෞරවයක් ලෙසයි අපි සළකන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව ගිය දහසය දෙනාගේ කණ්ඩායම ලෙස අපි සියළුලු දෙනාම එක්ව විපක්ෂයේ භූමිකාව නිවැරැදිව ඉටුකරනවා.ඒ වගේම එක්සත් ජාතික පක්ෂය බලයට ආවේ ජනතාවගේ සාක්කු පුරවනවා කියලා. නමුත් ජනතාවගේ සාක්කුවල තිබුණ දේවලුත් අද අහිමි වෙලා.ඒ නිසා විපක්ෂයේ කාර්ය භාරය අනෙකුත් මන්ත්‍රීවරුන් සමඟ එක්ව කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා -

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ පැවැත්වූනා. එහිදී පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයක් පක්ෂය තුළ සිදුකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟ වුණා.ඒ අනුව පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට අදාළව 16 දෙනාගේ කණ්ඩායම වගේම ආණ්ඩුව නියෝජනය කරන 23 දෙනා‍ගේ කණ්ඩායම යන දෙපාර්ශ්වයම අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ලබන ජූනි තුන්වැනිදා වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතයි.පක්ෂයේ මධ්‍යම කාරක සභාව, සමස්ථත ලංකා කාරක සභාව, විධායක තාරත සභාව,යන තුනම එදිනට කැඳවනවා.ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමට නියමිතයි. ඒවගේම ජූනි 9-10 යන දිනවලදී දිස්ත්‍රීක් බල මණ්ඩල කැදවනවා.ඒ අයගේ අදහස් ලබාගන්නවා.

ඒ වගේම දහසය දෙනා සහ ආණ්ඩුව නියෝජනය කරන 23 ඇතුළු අපි සියලු දෙනාම එක්වයි පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සිදුකරන්නේ.ඒ වගේම 14-15 යන දිනවල ආසන බල මණ්ඩල නියෝජිතයන් කැඳවනවා.ඒ වගේම අපගේ පක්ෂයේ සංවත්සරයට ‍පෙර මේ සියලු කටයුතු අවසන් කිරීමටත් තීරණය කළා.පක්ෂය නැවත ගොඩනැගීම, පක්ෂය ජනතාව අතරට ගෙනයාම වෙනුවෙන් අපි මේ සියලු දේවල් කරන්නේ.ඒ වගේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ජෝන් සෙනවිරත්න මහතා යෝජනාවක් ඉදිරිපත් කළා.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වන දිනය පිළිබඳව තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනීප කණ්ඩායමට දැනුම් දුන්නා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් රැදී සිටීමෙන් සිදුවන්නේ පක්ෂය තවදුරටත් දුර්වල වීම බවත් ජනාධිපතිවරයා සදහන් කළා.ඒ අනුව මේ පිළිබඳව ආණ්ඩුව තුළ ඉන්න පිරිස තීන්දුවක් ගනිවි කියා අපි හිතනවා.ඒ වගේම තවදුරටත් ආණ්ඩුව තුළ සිටිය යුතු පිරිසක් සිටිනවා නම් ඒ අයට තනි තනිව තීන්දු ගතහැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ අපි සියලු දෙනාම ඉවත් වූයේ හෘද සාක්ෂියට එකඟව විශ්වාස භංග යෝජනාවට පක්ෂය ඡන්දය දීලයි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කළ වෙලාවේ එතුමා මුලසුනේ අසුන් ගැනීමට පෙර අපි විපක්ෂයේ අසුන් ගත්තා. 16 දෙනා‍ගේ කණ්ඩායම ඉතාම ශක්තිමත්. ඒ වගේම අධිකරණ සංවිධාන පනත වෙලාවේ අපගේ ශක්තිය අපි පෙන්නුවා.දහසය දෙනාගේ කණ්ඩායම ලෙස අපි අලුත් ගමනක් ආරම්භ කර තිබෙනවා.අපි ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ හේතු, මෙන්ම අපගේ ඉදිරි ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් අපි ජනතාව දැනුම්වත් කරනවා.ඒ ඒ වගේම රටපුරා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනවා. පළමු සම්මන්ත්‍රණය පවත්වන්නේ මාතර. ඒ වගේම අපි පක්ෂ නායකයන් හමු වෙනවා. අපගේ ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරනවා.අපි දහසය දෙනා කියන්නේ කාගෙවත් අතකොළුවක් නෙවෙයි. මේ ආණ්ඩුවට එරෙහි පුළුල් බලවේගයක් ගොඩනඟනවා. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();