Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපතිගේ ඉරාන සංචා‍රයෙන්...

 

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ඉරානයේ සංචාරයක නිරත විය.

ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ විශේෂ නිල ඇරැයුම පරිදි ජනාධිපතිවරයා මේ සංචාරයට එක් වූ අතර, ඉරානය සහ ශ්‍රී ලංකාව අතර 47 වසරක ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගනිමින් මාතෘ භූමියට ප්‍රතිලාභ රැසක් උදාකරදීමට මේ සංචාරයේ දී ජනාධිපතිවරයාට හැකි විය.

බටහිර ආසියානු රටක් වන ඉරානය පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු විශේෂ බලශක්ති ආරක්ෂණය ලෙස ලෝක ආර්ථිකයේ විශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටී.

ශ්‍රී ලංකාවේ බොහෝමයක් සංවර්ධන කටයුතු සඳහා ඉරානය ද සිය දායකත්වය සපයයි. ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු අංශවල ඉරානය සිය ආයෝජන සිදුකරන අතර, එමගින් ශ්‍රී ලංකාවේ පිරිපහදු තෙල් නිෂ්පාදනය දෙගුණ කිරීම අපේක්ෂාවයි.

මීට අමතරව ග්‍රාමීය විදුලිබල අවශ්‍යතාව පිරවීමට ද සහාය දක්වමින් ශ්‍රී ලංකාවට ආධාර කරන ප්‍රධාන රටවල් අතුරින් එකක් බවට ඉරානය පත්ව සිටී.

ඉරාන - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් අතර පැවැති හමුව ඉතා සුවිශේෂී විය.

දෙරටේ රාජ්‍ය නායකයන් හමුවුණේ 13 වැනිදාය. ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරය වන Sadabaad Palace වෙත ගිය ජනාධිපතිවරයා ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් විචිත්‍රවත් පිළිගැනීමේ උත්සවයක් ද එහි සංවිධානය කර තිබුණි.

නායකයන් දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

අතීතයේ පටන් දෙරට අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳ මෙහි දී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි දී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සඳහා ඉරාන රජයේ සහාය අපේක්ෂා කරන බවයි.

ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත්‍රයේ දැනට පවතින සහයෝගිතාව තව දුරටත් පුළුල් කර ගැනීමට ද නායකයන් සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කටයුතු සඳහා මීට වසර 50 කට පමණ පෙර සිට ඉරානය සහාය ලබාදෙන අතර, තෙල් පිරිපහදු ක්ෂේත්‍රය යාවත්කාලීන කිරීමට සහ වැඩි දියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ඉදිරියට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ඉරානයට ශ්‍රී ලංකාව විසින් වැඩි වශයෙන් තේ අපනයනය කරන රටක් වන අතර, එම කටයුතු ඉදිරියේ දී වැඩි දියුණු කරගැනීම පිළිබඳව ද ජනාධිපතිවරයා ඉරාන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලදී. ඒ පිළිබඳ ඉදිරි පියවර කඩිනමින් ගන්නා බව ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා ඉරාන රජයේ සහාය ලබාගැනීම පිළිබඳ මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඉහළ නංවා ගනිමින් දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳව ද මෙහි දී නායකයන්ගේ අවධානය යොමු විය.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කර ගනිමින් දෙරට අතර ඖෂධ හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳත් පේෂකර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩි දියුණුව වෙනුවෙන් පුහුණු වැඩසටහන් හුවමාරුව පිළිබඳත් අවධානය යොමු කරන ලදී.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගනුදෙනු පහසුකර ගැනීමට මුදල් හුවමාරුව සඳහා විධිමත් බැංකු සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන් අතර, ඒ සඳහා ඉතා ඉක්මණින් ගිවිසුමකට එළැඹීමට කටයුතු කරන බව ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළේය.

ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කොමිසම යටතේ මේ සියලු කටයුතු ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බව ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම 2004 වසරේ දෙරට අතර ඇති කරගත් දෙරටේ වෙළෙඳ භාණ්ඩවලට ප්‍රමුඛතාව ලබාදීමේ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ද නායකයන් එකඟ විය.

ආසියානු සහයෝගීතා සංගමයේ සහ නොබැඳි ජාතීන්ගේ සාමාජික රටවල් ලෙස ජාත්‍යන්තර වේදිකාවේ දී සහයෝගයෙන් කටයුතු කිරීමටත් ලෝක ත්‍රස්තවාදය පිටුදැකීම මෙන්ම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වැනි කටයුතුවල දී සාමුහිකව කටයුතු කිරීමටත් නායකයන් සපථ වුණි.

මෙහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂයෙන් සඳහන් කළේ නොබැඳි ජාතීන්ගේ සාමාජික රටක් ලෙස සියලු මිතුරු රාජ්‍යයන් එක ලෙස පිළිගනිමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ඔස්සේ සියලු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අද ශ්‍රී ලංකාවේ විදේශ පිළිවෙත බවයි.

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා ආරම්භ කෙරෙන්නේ වසර 61 කට ඉහත දී වූවද වසර දහස් ගණනක ඈතකට දිව යන දෙරට අතර මිතුදම පිළිබඳ මෙහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිහිපත් කළේය.

උමාඔය ව්‍යාපෘතියට සහ ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිබලය සැපයීම සහ දුම්රිය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙන සහාය වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා ඉරාන රජය වෙත සිය ස්තුතිය පිරිනැමීය.

ඉන් අනතුරුව දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට ද රාජ්‍ය නායකයන් ඉදිරියේ අත්සන් තැබිණි.

සෞඛ්‍ය, වෛද්‍ය විද්‍යාව, ඖෂධීය සහ වෛද්‍ය උපකරණ / ප්‍රමිතිකරණය, මිනුම් විද්‍යාව හා පුහුණුව, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම / සිනමාව සහ රූපවාහිනි / සංස්කෘතිය, විද්‍යා හා තාක්ෂණය යන ක්ෂේත්‍රවලට අදාළව එම ගිවිසුම්වලට අත්සන් තැබුණි.

මේ සංචාරයේ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ජනාධිපතිවරයා සහ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අතර පැවැති හමුවයි. මෙහි දී ඉරාන ආධ්‍යාත්මික නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හෘදයාංගම ලෙස පිළිගනු ලැබීය.

මෙහි දී ඉරාන ආධ්‍යාත්මික නායකයා පෙන්වා දුන්නේ අපගේ රටවල් දෙක අතර සංස්කෘතික මෙන්ම වෙළෙඳ සම්බන්ධතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බවයි. දකුණු ආසියාතික කලාපයේ රටවල් සමඟ අප රටවල් දෙකෙහි සබඳතා ඉතා පැරැණි බව ද එතුමා සඳහන් කළේය.

වත්මන් වෙළෙඳ සම්බන්ධතා අප දෙරට අතර පවතින හැකියාවන්ට වඩා බොහෝ දුර්වල මට්ටමේ පවතින හෙයින් එය වඩාත් ඉහළ මට්ටමට ගෙනයාමට කටයුතු කිරීමේ වැදගත්කම ද ආධ්‍යාත්මික නායකයා පෙන්වා දුන්නේය.

එතුමා වැඩි දුරටත් සඳහන් කළේ,

ආසියාතික රටවල් තමන් අතර සහයෝගිතාව වැඩි දියුණු කරගැනීම මගින් තමන් ශක්තිමත් කරගැනීමට හැකිවෙනවා.

අප දෙරට අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා වැඩි දියුණු කරගැනීමට හැකි ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ රජය සමඟත් මහජනතාව සමඟත් මිත්‍රත්වය සහ සහයෝගිතාව ශක්තිමත් කරගැනීමට ඉරාන ඉස්ලාමීය ජනරජය සූදානමින් සිටිනවා. ඒ නිසා අද අත්සන් කරන්නට යෙදුනු අවබෝධතා ගිවිසුම් ගැන වැඩි සැලකිල්ලෙන් කටයුතු කරන්නට යෝජනා කරනවා.

ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම තේ නිෂ්පාදනය කර අපනයනය කරන රටක්. ඉරාන ජනතාව ‘චායි සීලාන්’ හෙවත් සිලෝන් තේ බොහෝ කැමැත්තෙන් පරිහරණය කරනවා. මමත් කුඩා කාලයේ සිටම ඔබේ රටේ තේවලට හුගාක් කැමැතියි.

ඉරානයේ විද්‍යාත්මක, තාක්ෂණික සහ පර්යේෂණ ක්ෂේත්‍රවල අත්පත් කර‍ගෙන තිබෙන දියුණුව තුළින් ඔබ රටටත් ප්‍රයෝජන ගන්නට පුළුවන්.

දෙරටේ ජනතාව අතර සම්බන්ධතා දියුණු කිරීමට සංචාරක කර්මාන්තය දියුණු කරගැනීම උපකාරී වනු ඇත. අපගේ රටවල් දෙක තුළ නැරැඹිය හැකි ස්ථාන බොහොමයක් තිබෙනවා. අපේ රටවල් දෙක භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ කේන්ද්‍රීය ස්ථානවල. ඒ නිසා අපට ලැබෙන වාසි මෙන්ම අවාසිත් තිබෙනවා. තාක්ෂණික දියුණුවට සාපේක්ෂව ආධ්‍යාත්මික දියුණුව සිදුවීම මිනිසාගේ යහපතට අත්‍යවශ්‍ය බව ඔබතුමා කී කාරණාවට මම එකඟ වෙනවා. සියලු ආගම්වල වටිනාකම් එකතු කරගෙන ඔබතුමන්ගේ රට ගොඩනැඟීමට කරන වෑයම අගය කරනවා. මම හිතනවා අපි දෙපළ අපි සිතනවාට වඩා සමීපයෙන් සිටින බව. මේ සමීපත්වය තවත් ශක්තිමත්වීමට කටයුතු කිරීම වැදගත්.

ඔබතුමාගේ ගමන සාර්ථක ගමනක් වීමට සුබ පතනවා.

මේ අතර ඉරානයේ ටෙහෙරාන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද මේ සංචාරයේ දී ජනාධිපතිවරයා හමුවූහ.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහි දී කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ද තොරතුරු විමසමින් සුහද කතාබහක නිරත විය.

විද්වතුන්, වෘත්තියවේදීන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි අතර, ඔවුන් ඉතා ගෞරවයෙන් යුතුව ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();