Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීමට ආණ්ඩුව වැදගත් පියවර කිහිපයක් ගත්තා

ලෝක බැංකුව සමඟ කෘෂි නවීකරණ ව්‍යාපෘති ආරම්භ කළ බවත් අගමැති කියයි

මේ සතිය තුළ මෙරට ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීමේ වැදගත් පියවර කිහිපයක්ම ගනු ලැබූ බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ ආණ්ඩුව සියලු ක්ෂේත්‍රයන් සමඟ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ඉලක්ක කර කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ලෝක බැංකුව සමඟ කෘෂි නවීකරණ ව්‍යාපෘති ආරම්භ කළ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කෙළේ පසුගිය (17) දා කොළඹ මුවන්පික් හෝටලයේ දී අමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව තුළ නව කිරි නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අරමුදල් සපයන, රුපියල් බිලියන 2.2 (ඩොලර් මිලියන 14.1) වැය වෙන, වෙළෙඳ පොළ නැඹුරු කිරි නිෂ්පාදන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතුල් කේෂප් විසින් මෙහිදී ආරම්භ කෙළේය.මෙම වෙළෙඳ පොළ ඉලක්ක කර ගත් කිරි ව්‍යාපෘතියෙන් ශ්‍රී ලාංකික ගොවීන් 15,000 කට පමණ සෙත සැලසෙන අතර මෙම ව්‍යාපෘතිය කිරි නිශ්පාදනය අංශයේ වාණිජ තිරසර බව හා කිරි නිෂ්පාදනවල ගුණාත්මක බව හා ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත.

මේ මගින් ශ්‍රී ලාංකික කිරි ගොවියන්ගේ හැකියාවන් වැඩි දියුණු වන අතර 2022 වර්ෂය වන විට කිරි නිෂ්පාදනයේ 18% ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයක් ලබා හැකි යැයි අපේක්ෂා කෙරේ. සිවු අවුරුදු ව්‍යාපෘති කාලය තුළ දී සමස්තයක් වශයෙන් කිරි නිශ්පාදය 94% ක වර්ධනයක් ලබා ගනු ඇත. කිරි නිශ්පාදන අංශය ශක්තිමත් කිරීම, කිරි නිෂ්පාදනයේ ස්වයං පෝෂිත තත්ත්වය ළඟා කර ගැනීමේ ජාතික ප්‍රයත්නයට ද සැළකිය යුතු දායකත්වයක් මේ මඟින් ලබා දීමට අපේක්ෂිතය.

දළ වශයෙන් ප්‍රතිලාබී ගොවීන් 80%කට පමණ ඔවුන් ගේ කිරි සඳහා ගුණාත්මක බව මත පදනම් වූ හොඳ මිලක් ලැබීමත්, ඊට අමතරව ඔවුන්ට තිරසර හා ලාභදායි ව්‍යාපාර ගොඩ නැගීමට උපකාරී වන පුහුණුවක් ද මේ මගින් හිමි වේ. මෙම ව්‍යාපෘතිය යටතේ ආයෝජන අවස්ථා ද උදා කෙරෙනු ඇති අතර ලංකා වෙළෙඳ මණ්ඩලය යටතේ මෑත දී පිහිටු වන ලද සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමයට ද ආධාර හිමි වේ.

වෙළෙඳ පොළ නැඹුරු කිරි ව්‍යාපෘතියට අරමුදල් ලබා දෙනු ලබන්නේ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සඳහා ආහාර වැඩසටහන යටතේය. කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික විධායක සේවා බලකාය, ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලය, ගෝලීය කිරි සංසදය හා සර්වෝදය ආදී ආයතන ගණනාවක් හා එක්ව කටයුතු කරයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන අලුත් වැඩසටහනක් අද අපි ක්‍රියාත්මක කරනවා. ඒ එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර ඇතිව ආරම්භ කරන වෙළෙඳ පොළ ඉලක්ක කරන කිරි නිෂ්පාදන ව්‍යාපෘතියයි. මේ ඉතා වැදගත් ව්‍යාපෘතියෙන් අප බලාපොරොත්තු වන්නේ මේ රටේ කුඩා සහ මධ්‍ය පරිමාණ කිරි ගොවියන්ට තමන්ගේ නිෂ්පාදන නගා සිටුවීම සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබා දීමයි. එයින් ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්නවා .

අපට එක් ගවයකු ගෙන් ලැබෙන්නේ කිරි ලීටර් පහක් පමණයි. එය ප්‍රමාණවත් නැහැ. ඇත්ත වශයෙන්ම මෙතැනින් බලන්නේ ඒ නිෂ්පාදනයේ නිෂ්පාදිතත්වය වැඩි කර එය ලීටර් දහයක් දක්වා ඉලක්ක කරන්නයි. මම හිතන්නේ අපේ අවසන් ඉලක්කය විය යුත්තේ දෙගුණයක් නෙවෙයි, හතර ගුණයකින් අපේ නිෂ්පාදනය වැඩි කිරීමයි.

එහි පළමු වැනි පියවර ලෙස මෙය සාර්ථකව ක්‍රියාත්මක කරමින් මේ කිරි ලීටර් පහ දෙස බැලූ විට මතක තබා ගත යුතුයි විශේෂයෙන්ම ඉහළින්ම තිබෙනවා උසස් පෙළේ නිෂ්පාදන සමාගම. ඒ වගේම විශාල පට්ටි තිබෙන කිරි ගොවීන්. එතැන සාමාන්‍ය නිෂ්පාදනය ලීටර් හතරකට වඩා වැඩියි. කුඩා ගොවීන‍්ගේ හා මධ්‍යම ගොවීන්ගේ නිෂ්පාදනය ලීටර් හතරකටත් වඩා අඩු වන අවස්ථා තිබෙනවා. අපේ ඉලක්කය වෙන්නේ විශේෂයෙන්ම කුඩා ගොවීන්ට ලීටර් 8-10 ක් අවම වශයෙන් ලබා දීමයි. ඒ පළවැනි පියවර ගත් පසු දෙවැනි පියවරට යාම දුෂ්කර කාර්යයක් නෙවෙයි.

‍මෙම පියවර ඇත්ත වශයෙන්ම මේ රටේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණයේ කොටසක්. අපි කර්මාන්ත ක්ෂේත්‍රයේ නවීකරණයක් කරනවා. සේවා අංශයේ නවීකරණයක් කරනවා. අපි දකිනවා සංචාරක ව්‍යාපරයේ දියුණුව. ඒ වගේම තොරතුරු තාක්ෂණ අංශයේ සිදු වන දියුණුව අප දකිනවා. ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් වීම දක්නට ලැබෙනවා. වරාය අලුත් වැඩියා කිරීම, ගුවන් තොටුපොළ අලුත් වැඩියා කිරීම ආදිය දක්නට ලැබෙනවා. මේ සෑම ක්ෂේත්‍රයකම වැඩි දියුණු කිරීම් සිදු වන විට අපේ ජනගහනයෙන් විශාල කොටසකට බලපාන ග්‍රාමීය ආර්ථිකයත් අපි ශක්තිමත් කළ යුතුයි.

එහි අවසන් ඉලක්කය වන්නේ ගොවීන්ගේ ආදායම වැඩි කිරීමටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ නායකත්වයෙන් තිබෙන මේ ආණ්ඩුව එය ඉලක්ක කර ගෙනයි වැඩ කටයුතු සිදු කරන්නේ. අපි ගම්මානවල වාරි මාර්ගවලට වැඩි මුදලක් වැය කරන අතර මේ වගේම කෘෂි බෝග නිෂ්පාදනය වැඩි කරන්න ඒ සමඟම කිරි නිෂ්පාදනය වැඩි කරන්න ක්‍රියා කර ගෙන යනවා. කිරි නිෂ්පාදනය වැඩි කළ විට මේ රටේ ආදායම වැඩි වෙනවා.

විශේෂයෙන්ම මේ සතිය වැදගත් සතියක්. මේ අඟහරුවාදා අපි ලෝක බැංකුව සමඟ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ආරම්භ කළා. අද අමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර සමඟ වෙළෙඳ පොළ ඉලක්ක කර ගත් කිරි නිෂ්පාදන වැඩ සටහන ආරම්භ කරනවා. මේ දෙකම වෙළෙඳ පොළ ඉලක්ක කර ගෙන නිෂ්පාදන වැඩි කිරීමයි අපේක්ෂාව වන්නේ.

එය සාර්ථක කර ගැනීම සඳහා විශේෂයෙන්ම අමෙරිකාවේ තානාපති අතුල් කේෂප් මහතා විශාල උනන්දුවක් දැක්වුවා. ඒ වගේම නව ඇමැතිතුමාත් මේ සඳහා කැප වී සිටිනවා. අපිට තිබෙන්නේ එය ක්‍රියාත්මක කිරීමටයි.

අමෙරිකාවත් ලංකාවත් අතර පැරණි සම්බන්ධයක් තිබෙනවා. එය නිදහසටත් පෙර සිට තිබෙන සම්බන්ධයක්. එම සම්බන්ධය මත අපිට විවිධ අංශ සඳහා එරටින් ආධාර, උපකාර, සහයෝගය ලැබී තිබෙනවා. දැනටත් ඒ වැඩි කටයුතු සඳහා ඒ සම්බන්ධකම් වලින් තමයි අපි කටයුතු කරන්නේ. ඒ ආධාර, සහයෝගය, මිත්‍රත්වය අපි සෑම විටම අගය කර තිබෙනවා. මේ ව්‍යාපෘති වලින් තව දුරටත් ඒ පදනම ශක්තිමත් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ සඳහා ක්‍රියාත්මක වූ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත්, අයි. ඊ. එස්. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතුල් කේෂප් මහතා-

අමෙරිකා එක්සත් ජනපදය ලොව පුරා සහයෝගය සපයනු ලබන්නේ, සැමටම ආහාර සැපයිය හැකි, සෑම ගොවියකුටම සාර්ථකව දිගු කලක් රැඳී පැවතිය හැකි, විධිමත් ලෝක ව්‍යාප්ත කෘෂිකාර්මික පද්ධතියක වර්ධනයටයි. ශ්‍රී ලංකාව තුළ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අප සාඩම්බරයෙන් අයි. ඊ. එස්. සී ආයතනය සමඟ හවුල් ගත වන අතර, කුඩා සහ මධ්‍ය පරිමාණ ගොවීන්, යැපුම් කෘෂිකර්මයෙන් වාණිජමය පරිමාණයන් දක්වා උසස් කිරීමට, උප ප්‍රතිග්‍රාහකයන් සහ උපාය මාර්ගික හවුල්කරුවන් ගෙන් සමන්විත ශක්තිමත් කණ්ඩායමක් සමඟ එක් වෙමු.

රටවල් දෙක අතර චිරාගත මිත්‍රත්වයත්, ද්වීපාර්ශ්වික සබඳතාවත් කෙරෙහි තමන් ගේ කැපවීම යළි සහතින කළ අතර, රටේ සමස්ත සමෘද්ධිය කෙරෙහි මෙවන් ප්‍රයත්නයක් මඟින් සිදු විය හැකි බලපෑම පිළිබඳ තානාපති අතුල් කේෂප් මහතා මෙහිදී සිය විශ්වාසය පළ කර සිටියේය.

එක්සත් ජනපද රාජ්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සඳහා ආහාර වැඩසටහන, සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ බිහි වෙමින් පවතින ප්‍රජාතාන්ත්‍රිකයන්ට නවීකරණය වීමට සහය වන අතර, කෘෂි කාර්මික ඵලදායීත්වය වැඩි දියුණු කිරීම සහ කෘෂි නිෂ්පාදන වෙළෙඳාම වර්ධනය කිරීම ලෙස ඔවුන්ගේ කෘෂි කාර්මික ක්ෂේත්‍රය මූලික අරමුණු දෙකක් යටතේ සවි බල ගන්වන බව සහකාර නියෝජ්‍ය පරිපාලක ගසී මහතා මෙහිදී අවධාරණය කෙළේය.

වෙළෙඳ පොළ යොමු කිරි නිෂ්පාදන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මැතිව් ක්‍රවුස් මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය සඳහා අඩිතාලම ඇති වූයේ පසුගිය වසරේ දී සවිස්තරාත්මක උපාය මාර්ග විශ්ලේෂණයක් මගින් බවයි. රට පුරා පවතින වෙනස් වන පරිසරයන් සහ සන්දර්භයන් සැළකිල්ලට ගනිමින්, ඵලදායීතාය සහ ගුණාත්මක බව වර්ධනය කිරීමට ඇති අවහිරතා සහ අවස්ථාවන් හඳුනා ගැනීම එමගින් සිදු වූ බව ද කිරි නිෂ්පාදන පාර්ශවකරුවන් ගේ අදහස් විමසමින් අයි. ඊ. එස්. සී .උචිත සහ ඵලදායී මැදිහත් වීම් සහ විසැඳුම් සාදා ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

කොළඹ මුවන්පික් හෝටලයේ පැවැති ව්‍යාපෘතිය දියත් කිරීමේ උත්සව අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අැමැති විජිත් විජයමුනි සොයිසා මහතා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතුල් කේෂප් මහතා, එක්සත් ජනපද රාජ්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර නියෝජ්‍ය පරිපාලක බ්‍රයන් ගසී මහතා සහ ව්‍යාපෘතියේ කොටස්කරුවෝද සහභාගි වූහ.

ක්‍රිසන්ති විතාරණ
ඡායාරූප- හිරන්ත ගුණතිලක 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();