මෙරට සංචාරයක නිරත ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් බිපින් රාවට් (General Bipin Rawat) මහතා ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අසල්වාසී සහෝදර රාජ්‍යයන් ලෙස අතීතයේ සිට පවතින මිත්‍ර සබඳතා මෙහි දී සිහිපත් කළ ජනාධිපතිවරයා එම සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම තම රජයේ අපේක්ෂාව බව පැවැසීය. දෙරටේ බුද්ධි තොරතුරු අංශ ශක්තිමත් කිරීම ජාතික හා කලාපීය ආරක්ෂාවට ඉතා වැදගත් බව පෙන්වා දුන් ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
බුද්ධිමය අංශ පුහුණු කිරීම සහ දෙරට අතර නව තාක්ෂණික හුවමාරු වැඩසටහන් ක්‍රියාවට නැංවීම පිළිබඳ ද මෙහි දී අවධානය යොමු කෙරිණි.
දූපත් රාජ්‍යයක් ලෙස නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර, එම ජාවාරම් මැඬලීම සඳහා ඉන්දීය හමුදාවේ සහාය ද අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ හමුව සංකේතවත් කරමින් ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
ඡායාරූපය සඳරුවන් අමරසිංහ ජනාධිපති මාධ්‍ය අංශය


0 Comments